Wednesday, September 2, 2015

පුසුඹ අතීතය



බොරලු කැට දහසකට
පහස දුන් පාද තල..
පස් ගොඩක මතක ඇඳි
මඩ සුවඳ දැනෙනවද?


ඇඹරැල්ලා දලු කොනක
ඇඹුල රැඳී දිව අගිස..,
දැනුණිදෝ ඒ මතක
දැනේවිද ඒ රසම?


කහට වැටි ගවුමින්ම
වැටමාර තුරුල් කර
හදපු සෙල්ලම් ගෙවල්
තාම ඔහෙ තියනවද?

සුදු පාට කිරිමැටිත්
මඩ සමඟ වතුර ගෙන
දඟ දාන පොඩි එවුන්
නාන ළිඳ ළඟ ඇතිද ?

වැස්ස දා පඩිය කොන
වැහි වතුර පිරෙන තැන
කොළ පාට දියසෙවල
යන්තමින් වත් නැතිද?

වැලි ඉහපු මිදුල වට
තණපිඩලි අසල සිටි
බින්කුන්ඩනුත් තවම
කැරකෙමින් නටනවද?

වද ගහක දළු ගෙනත්
අත්ල උඩ රඳවගත්
මැජික් පෙන්වන ළමුන්
තවම ඔහෙ ඉන්නවද?

මද සුළඟ වුවද කිම
බත් ඔතන කොළ රැගෙන
සරුංගල් යවපු හැටි
හිත ඇතුලේ තියනවද?

පොල් කටුව, කොහු ලණුව
පා ඇඟිලි අතර හිඳ
රිදවාපු හැටි අපිට
වේදනා අමතකද?

කොටු අටක් පුරාවට
එක් කකුලකින් ඇවිද
බට්ටො සෙල්ලම් කරපු
යාලුවෝ දැන් කොහිද?

මතක අමතක නොකර
වෙර දමා හිත මතම
හෙමි හෙමින් උඩට ගෙන
මා හිතම කොනිත්තන

වේදනා නගරයක
හිඳ ලියන විලාපය
ගම්මානයේ නුඹට
නොඇසේද මා මිතුර?





9 comments:

  1. අපේ පුංචි සන්දියට අරන් ගිය අපූරැම පදවැලක්

    ReplyDelete
    Replies
    1. මටත් පුංචි කාලේ මතක් වෙලා ලිව්වේ මාමේ.බොහොම ස්තුතියි.

      Delete
  2. පැරණි ගන්ධයන් හිතේ හොල්මන් කරනවා විටෙක සුළි සුළගක් වගේම..

    ReplyDelete
  3. සුන්දරයි අෑ...............

    ReplyDelete
  4. රහයි කෙල්ලෙ.....
    අපූරු ගැලපුමක්.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලින්ත අයියේ.

      Delete
  5. ලස්සන පැදි පෙළක්
    ජයවේවා!

    ReplyDelete