බොරලු කැට දහසකට
පහස දුන් පාද තල..
පස් ගොඩක මතක ඇඳි
මඩ සුවඳ දැනෙනවද?
ඇඹරැල්ලා දලු කොනක
ඇඹුල රැඳී දිව අගිස..,
දැනුණිදෝ ඒ මතක
දැනේවිද ඒ රසම?
කහට වැටි ගවුමින්ම
වැටමාර තුරුල් කර
හදපු සෙල්ලම් ගෙවල්
තාම ඔහෙ තියනවද?
සුදු පාට කිරිමැටිත්
මඩ සමඟ වතුර ගෙන
දඟ දාන පොඩි එවුන්
නාන ළිඳ ළඟ ඇතිද ?
වැස්ස දා පඩිය කොන
වැහි වතුර පිරෙන තැන
කොළ පාට දියසෙවල
යන්තමින් වත් නැතිද?
වැලි ඉහපු මිදුල වට
තණපිඩලි අසල සිටි
බින්කුන්ඩනුත් තවම
කැරකෙමින් නටනවද?
වද ගහක දළු ගෙනත්
අත්ල උඩ රඳවගත්
මැජික් පෙන්වන ළමුන්
තවම ඔහෙ ඉන්නවද?
මද සුළඟ වුවද කිම
බත් ඔතන කොළ රැගෙන
සරුංගල් යවපු හැටි
හිත ඇතුලේ තියනවද?
පොල් කටුව, කොහු ලණුව
පා ඇඟිලි අතර හිඳ
රිදවාපු හැටි අපිට
වේදනා අමතකද?
කොටු අටක් පුරාවට
එක් කකුලකින් ඇවිද
බට්ටො සෙල්ලම් කරපු
යාලුවෝ දැන් කොහිද?
මතක අමතක නොකර
වෙර දමා හිත මතම
හෙමි හෙමින් උඩට ගෙන
මා හිතම කොනිත්තන
වේදනා නගරයක
හිඳ ලියන විලාපය
ගම්මානයේ නුඹට
නොඇසේද මා මිතුර?
අපේ පුංචි සන්දියට අරන් ගිය අපූරැම පදවැලක්
ReplyDeleteමටත් පුංචි කාලේ මතක් වෙලා ලිව්වේ මාමේ.බොහොම ස්තුතියි.
Deleteපැරණි ගන්ධයන් හිතේ හොල්මන් කරනවා විටෙක සුළි සුළගක් වගේම..
ReplyDeleteඒක ඇත්ත දේශෝ...
Deleteසුන්දරයි අෑ...............
ReplyDeleteස්තුතියි කුරුටු ! :)
Deleteරහයි කෙල්ලෙ.....
ReplyDeleteඅපූරු ගැලපුමක්.......
බොහොම ස්තුතියි මලින්ත අයියේ.
Deleteලස්සන පැදි පෙළක්
ReplyDeleteජයවේවා!