Tuesday, December 31, 2019

මතක හිත!


දැරියක්ව සිටි කාලයයි. එතරම් සතුටින් සිටි හැකි කාලයක්, නැවතත් නොලැබෙනා බව නොදන්නා, පාවෙන වලාකුලක මෙන් සැහැල්ලුවෙන් සිටි කාලයයි. ඉතින් මේ ඈ හට ප්‍රථම ප්‍රේමය මුණ ගැසුණු කාලයයි.

ජීවිතය කෙතරම් ප්‍රීතිමත් දැයි, මේ ලොව නොදන්නා තව කෙතරම් දේ ඇත්දැයි සිතමින් පුදුම වුණු කාලයයි. පොත් පිටු අතර දුටු ලෝකයත්, මිනිසුනුත්, ඒ ප්‍රේමයත් සැබෑ ලොව ඇත්දැයි විමසිලිමත් වූ කාලයයි. නොකියවූ පොත් කොපමණ ඇත්දැයි සිතා හූල්ලපු කාලයයි.කෙලවරක් නොදුටු කතාබහ මැද ගෙවුණු කාලයයි. සුදු ගවුමෙ රැලි අතරෙ රහස් සැඟවුනු කාලයයි.

ඉතා කුඩා , නමුත් තදින් බැඳුනු පවුලක් අලුත් සිහින දුටු කාලයයි. ඒ අලුත් තීන්ත සුවඳ මතකයන් අතර උඩින්ම තැන්පත් වූ කාලයයි. මුලු රැයක හීන, නිදිවැරූ ඇස් මත්තෙ ගොඩගහපු කාලයයි. නිතර ඇසෙන ගීත අපටම ලියූවා යැයි මුලු හදින් සිතූ කාලයයි. ඒ අතරින් පතර කඩයිම් විභාගත් පසු කල කාලයයි. රැවුම් බැනුම් ගෙරවුම් මැදත් ආදරය පරතෙරටම යමියි සපථ කල කාලයයි. නොදන්නා කලුවරක අතරමං වේයැයි සිහිනෙන්වත් නොසිතූ , සතුට ඈ අසල රැඳි අවසාන කාලයයි.

කලක් පෙමින් බැඳි මතක අතරේ වැලපෙන්න සිදුවුනු කාලයයි. රැයක් කියන්නෙම කඳුලු ගඟක් බව දැන රැයට සාප කල කාලයයි. විරහ ගීයක තනුවකටත් කඳුලු මුහුදක දිය වුණු කාලයයි.දින සති මාස අවුරුදු ගනනකට පසු ක්ෂණයකින් සියල් මතක පාකර හැරි , යුවතියක්ව සිටි කාලයයි.

සරසවි යුවතියක්ව ජීවිතය අලුතින් ඇරඹි කාලයයි. කාටවත් නොදන්වා හිත නැවත අයාලේ ගිය කාලයයි. සදාකාලික අමුත්තෙක් ළඟ හිත ආදරෙන් පිරුණු කාලයයි. ඉතින් ඒ හීන මත මල් පිපුණු අලුත් ගී තනු ඇසුණු කාලයයි. පොත් පිටුවක හැංගෙන්න මිනිත්තු මදි වුණු කාලයයි. දහසකුත් වැඩ අස්සෙ හීන කඳුවැටි අස්සෙ ආදරෙන් මත්වෙච්චි කාලයයි. 

නොදන්වා පැමිණි කුණාටුත්, නොකී තව නොවක් දෑ හිත තැලූ කාලයයි. නොදන්නා අමුත්තන්, අමුත්තන් ලෙසම වෙන්ව ගිය කාලයයි. ජීවිතය මේ යැයි කියන්නට බොහෝ දෑ එකතු වුණු කාලයයි. බොහෝ දෑ නැතිව ගිය කාලයයි.

හිත ගලක් වුණු කාලයයි. උල්පතක් වුණු පන්හිඳක තීන්තත් වියලි ගිය කාලයයි. වචනයක් පිට වෙන්න වරු ගනන් ගත් කාලයයි. දිගු නිහඬ රාත්‍රීන් හා පෙමින් බැඳි කාලයයි. අසන්නෙක් අවැසිම වුණු , කවුරුත්ම නැති වුණු කාලයයි. තාලයක එති එතී දුවපනින වචන වල තේරුමට හිත හූරගත්තු කාලයයි.

හෙමි හෙමින් නැවත පටන් ගනිමියි සිතු කාලයයි. රලු කටු පඳුරක්ව බිඳී ගිය සිත රැකි කාලයයි. පෙර නොසිතු මාවතක ඇවිද යන්නට සිතූ කාලයයි. ඒ තබන හැම අඩියකම මේ මෙලස යැයි සිතා තනිව මග සරි කරගත් කාලයයි. සැනසුමක හැඟීමක් සමඟ සරසවියෙන් නික්ම ගිය කාලයයි. නොදන්නා ලෝකයක පටන් ගැන්මේ ඉදන් ඉදිරියක් ගැන හිතන කාලයයි.
මේ ගෙවෙමින් පවතින්නේ ඒ කාලයයි. දසවසක් තුල අපමන හඬා වැටීම්, හිත් බිඳීම්,දරාගැනීම්,ජයගැනීම් හමුවේ ගත වූ නොදැනිම ගතවුනු කාලයයි. ඇසිල්ලක මතකයත් හද අවුලවන කාලයයි. 

ඒ කිසිත් සිදු නොවූ කාලයයි. ඒ සියල්ල සිදු වූ කාලයයි.. ඒ මා මිය යමින් සිටි කාලයයි. ඒ මා ජීවිතය යැදි කාලයයි. ඒ මා ජීවිතය ප්‍රතික්ෂේප කල කාලයයි.ඒ මා ජීවත් වූ කාලයයි. ඒ මා ජීවිතයට ස්තූතිවන්ත වූ කාලයයි. ඉතින් මේ ඒ කාලය පිලිබඳ ආවර්ජනය නිම කරන්නට කාලයයි.