Thursday, November 2, 2017

ඊට පස්සෙ හිස්තැනක්!







"ඒ කාලෙ ඉඳන්ම එහෙම තමයි. ඒ හින්දා ඒ ගැන පුදුම හිතන්න එපා."

මං හෙමීට කියලා දැම්මා.

" වෙන කා එක්ක නැතත් අඩු ගානෙ මාත් එක්කවත් කතාකරන්නකො ටිකක්. වචනයක් එලියට ගන්න ඔච්චර අමාරු ඇයි? "

දීප්තගෙ නෝක්කඩු කටහඬ ඇහුණෙ කලින් වතාවට වඩා ටිකක් ඈතින්.

ඒ කටහඬ ඇහෙන දුර ටික ටික වැඩි වුණා මිසක් ....

ඊටපස්සෙ එයාව දැක්කෙත් බොහොම කලාතුරකින්.
මට දුකක් කියල දෙයක් හිතුනෙ නෑ. මට දැනුනෙ එයාගෙ කටහඬ නැති පාලුවක් විතරයි.
ඒක මහ අමුතුයි. මාව ඇදිලා ගියේ පිරිමින්ගෙ කටහඬට. ඒ සමහර ගැඹුරු හඬවල් වලට මාව ඇබ්බැහි වෙන එක නතරකරගන්න එක හරි අමාරුයි.

මට ඕනි උනේ අහන් ඉන්න. මිනිස්සු අඬන හැටි, මිනිස්සු හිනා වෙන හැටි, මේ හැමදේම.
මට ඕනි උනේ හිත හිත ඉන්න. ඒ දේ මෙහෙම උනොත් කොහොමද , අරෙහෙම  උනොත් කොහොමද..

ඒත් මට කවදාවත් ඕනිඋනේ නෑ කතා කරන්න. ඒක කාටහරි තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. හරියට මේ දැන් වගේ. මට කියාගන්න බෑ මට දැනෙන්නෙ මොනාද කියලා. ඒ හින්දා මං ගොලු වෙලා ඉන්න පුරුදු වෙලා හිටියා.

දෙයක් කොච්චර කිව්වත් තේරුම් ගන්නැති කෙනෙක්ට කොච්චර කිව්වත් වැඩක් නැති හින්දා ඒ අය එක්ක මං කතා කලේ නෑ. මාව කොච්චර තේරුම් ගත්තත් මට මාව තේරුම් කරල දෙන්න බැරි අය එක්කත් මං කතා කලේ නෑ.

අන්න දැක්කද! මේ මං දැන් කියපු එකත් ඔයාට තේරුනේ නැහැ නේද?

හැමෝම හිතුවෙ මං හරි අඳුරු ගුප්ත චරිතයක් කියලා. කවුරුත් මූණට කිව්වෙ නැති උනාට මට ඒක අපූරුවට දැනෙමින් තිබ්බා.
ඒත් මේ නිහඬ අඳුරු හිත අස්සෙ, ඉර එළියෙන් දීප්තිමත් වෙච්ච පළිඟු කැට වගේ දවස් අප්‍රමාණයක් තිබුණු බව කවුරුවත් නොදන්න හැටි!

අහසෙ තියන නිල් පාට තරම්, තණකොල ගොල්ලක තියන කොළ පාට තරම් , අර ඈත පේන ක්ෂිතිජයේ ගිනි ගන්න පාට තරම්,වර්ණවත් ජීවිතයක් මං හංගගෙන හිටිය වග මට කියලා දුන්නෙ හදිසියේම පායපු දේදුන්නක්.

කලබලම පාන්දරක, මං හෙමි හෙමීට ඉස්සරහට යන ගමන් හිටියෙ. කන්තෝරු යන ගමන පොඩ්ඩක්වත් කම්මැලි නොහිතුනාට, අමාරුම දේ උනේ කනෝතෝරුවේ පැය අටක් ඉන්න එක විතරමයි.
ජොගින් යන විශ්‍රාමික මහත්තුරුන්ගෙ අනන්තවත් උදෑසනමය සුබ පැතුම් මැද්දෙන්, චූන් පාන් මල්ලිගෙ නිදිමත පෙරෙන මූණෙන් ඇදෙන හිනාමල් අස්සෙන්,  ඉස්කෝලෙ යන්න වෑන් එක එනකම් අම්මලා එක්ක පාර අයිනෙ ඉන්න පොඩිඋන්ගෙ විරිත්තුනු මූණවල් දිහා බලාගෙන මං ඉස්සරහට යමින් හිටියා!

ඒක මහලොකු අහම්බයකින් සිද්ධ වුණු දෙයක් නෙමෙයි.
එයත් හැමදාම බස් එකට නැග්ගා මා එක්කම.
අර කිව්ව උදෑසන සුබපැතුමකට එහායින් වචනයක්වත් හුවමාරු උනේ නෑ.

එදත් ඒ වගේම දවසක්!

" නෝනා රුපියල් තිහේ දුරට දාහෙ කොළයක් දික් කරන්න එපා නෝනා! මේ උදේ පාන්දර අපි ගාව මාරු නෑනෙ."

නොහිතපු වෙලාවක කොන්දොස්තර අයියගෙ සද්දෙට බස් එකම මං දිහා බැලුවෙ මං සල්ලි නොදී යන්න හැදු විදියට.

රුපියලේ කාසියක්වත් අතේ නොතිබිච්ච දවසක්!

"ආ එයාටත් එක්ක මේකෙන් ගන්න.! කොල්ලුපිටියට දෙකක්..."

දැන්නම් ඔයාට එයා එක්ක කතා කරන්න වෙනවමයි නිර්මා !

ඒ මොහොතෙ ඉඳන් සුබ පැතුමකින් නතර නොවෙන කතාවක් අපි දෙන්නා අතර ඇති වුණා.

"එයාලා ඇයි කියන්නෙ ඔයා වැඩි සද්ද බද්ද නැති ළමයෙක් කියලා? මගෙ ළඟ ඉද්දි කොච්චර කච කචේද "

මගෙ කොණ්ඩ කැරලි අස්සෙ එයාගෙ ඇඟිලි දුවවන ගමන් එයා අහනවා.

"මටත් පුදුමයි! "

" ඒ මොකටද ඔයාට පුදුම ? " ඒ ආයෙත් නිම්න.

"නෑ මං මේ මොනවද ඔයා එක්ක මෙච්චර කියවන්නෙ කියලා. මං  ඉස්සර මෙහෙම නෑ "

" හ්ම්ම්.. ඒත් ඒකට මං කැමතියි"  එයා දිගටම කියවගෙන යනවා.
" මං ගාව විතරක් මෙහෙම කියවන එකට.. "

"ඉරිසියාකාරයා!" මගෙ කෙනිත්තිල්ලට එයා හිනාවෙනවා.

" ඉරිසියා හිතෙන්න තිබ්බා ඉතින් වෙන තරඟකාරයෙක්වත් හිටියනම්. ඒත් එහෙම නෑනෙ"
අන්න ආපහු මාව කෙනිත්තුව හැටි!

තරහ ගන්නවත් වෙලාවක් හම්බවෙන්නෙ නෑ. එයාගෙ ගැඹුරු හුස්ම අස්සෙ, තෙරක් පේන්නැති ඇස් අස්සෙ මාව අතරමං වෙනවා!

ඒත් විශේෂම දේ උනේ මං ආසක්ත වුණු ආකාරයේ ගැඹුරු කටහඬක් ඔහුට හිමි නොවීම.
නමුත් එය පැරදිය හැකි තරමේ, මුහුදක් තරම් වූ ගැඹුරු ඇස් දෙක මාව තදින් අල්ලගෙන හිටියා.

තත්පරයකවත් ඉස්පාසුවක් නැති වේගවත් හෝරාවන් ගණනාවක්, හදගැස්මවල් දෙතොලතර හුවමාරු වෙන දවස් සති,මාස ගණනාවක් ගෙවිලත් තාමත් ඒ විදියටම අපි කිසි වෙනසක් නැතුවම!

"නිර්මා! අද හවස මට ඔෆිස් එකෙන් වෙනදා වෙලාවට එන්න බැරි වෙයි.ඔයා පරිස්සමෙන් යන්න"

මේ කෙටි පණිවිඩය තිරය මත දිස්වෙනකම්ම අපි දෙන්නා නොනවතින ගමනක් යමින් හිටියා.

ඒත් ඊට පස්සෙ,

......................................................