Saturday, October 17, 2015

ඉංග්‍රීසියි අපියි







අපේ ගෙදරට අද එනවා පුංචි දරුවෙක්.තුන වසරේ.ඉංග්‍රීසි පන්තියේ වැඩක් අහගන්න.
ටීචර් දීලා තියන වැඩේ මේකයි. රවුමක් ඇතුලේ ලියලා තියනවා දහයේ ඉඳන් තිහට යනකම් ඉලක්කම් වලට කියන වචන. ඒ වචන වලින් විස්සේ ඉඳන් තිහට යනකම් තියන වචන ටික තමයි තෝරන්න ඕනි. බැලූ බැල්මට හරි සරලයි.
ඉස්සෙල්ලම මම ඇහුවේ කීයට එනකම් ඉංග්‍රීසියෙන් ඉලක්කම් දන්නවද කියලයි.අමාරුවෙන් පනහට වෙනකම් කියන්න දන්නවා.
මම ඊටපස්සේ කිව්වා,හරි දැන් එහෙනම් පුතේ විස්සේ ඉඳන් තිහට එනකම් තියන වචන මෙතනින් තෝරන්න කියලා.
හිතාගන්න පුලුවන්ද?ඒ ළමයා පනහට වෙනකම් ඉංග්‍රීසියෙන්  කියන්න දන්නවා.කටපාඩමින් අකුරුත් කියන්න දන්නවා. අනේ ඒත් ඒ දරුවා පොතේ තියන වචනය කියවගන්න දන්නේ නැහැ.වැරැද්ද කොතනද? ඇත්තටම මට ඒ වෙලේ කරකියාගන්න දෙයක් නැති උනා. උගන්වන ගුරුතුමා දන්නේ නැද්ද කටපාඩම් කෙරෙව්වට මේ ළමයට කියවගන්න තේරෙන්නේ නෑ කියලා?



අවුරුදු තුනේ ඉඳන් ඕලෙවල් ඒලෙවල් පන්ති වෙනකනුත් එතනින් එහාට එක එක ජාතියේ සිව් මාසික හය මාසික පාඨමාලා කියා කියා එතනිනුත් එහාට ඩිප්ලෝමා ,උසස් ඩිප්ලෝමා කියා කියා ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ රටේ ළමයින්ට/තරුණ තරුණියන්ට හරියට මේ ඉංග්‍රීසි භාෂාව බැරි ඇයි?

Wednesday, September 2, 2015

පුසුඹ අතීතය



බොරලු කැට දහසකට
පහස දුන් පාද තල..
පස් ගොඩක මතක ඇඳි
මඩ සුවඳ දැනෙනවද?


ඇඹරැල්ලා දලු කොනක
ඇඹුල රැඳී දිව අගිස..,
දැනුණිදෝ ඒ මතක
දැනේවිද ඒ රසම?

Tuesday, August 25, 2015

මගේ කෙටිම කෙටි කතාව.






පුස්තකාලයක් වුනාම පොඩි අඳුරු පාටක් එක්ක මුහු වුණ පුස් ගඳක් තියෙන්නම ඕනි. ඒ එක්කම පැය බාගෙකට සැරයක් විතර කෑ ගහන කපුටු නාදෙකුත්.

ඒ ඔක්කොම තියෙද්දිත් මට මේ පුස්තකාලේ මොකද්දෝ මන්දා අඩුවක් දැනුනා.


මතක් වුණා !

අර බාගෙට ගැලවුණු කොටු කොටු දැල් තියෙන, ජනේලයක් මෙහෙ තිබ්බේ නැහැනේ.



“වහිනකොට හොරෙන් බලන්න එපා.!”

Friday, August 21, 2015

මතක මාවත | The Memory Lane






වැහි අඳුර ඇති හවස් යාමයකි.අපේ ආච්චි අම්මා වදෙන් පොරෙන් බුදුපහන තැබීමට මා ළඟට ගත්හැටි මතකය. අම්මාත් තාත්තාත් කාමරයේ බර කතාවක්ය.

“ ආච්චී...මම ගාථා කියන්නේ මට හඳුන්කූරු පත්තු කරන්න දුන්නොත් විතරයි.”

“බෑ.බෑ. ඔයා අත පුච්චගනී” 

ආච්චි අම්මාගේ අතේ තිබුණු හඳුන්කූරු උදුරාගත්තෙමි.උදුරාගත් වේගයෙන්ම අතට ආ පත්තු වෙමින් තිබු හඳුන්කූරු නතර වුයේ ඇස් දෙක ළඟ බවත්,ගින්දරින් ඇවිලෙන ඇහි පිහාටුත් සමඟ අම්මලා ලඟට දිව ගිය බවත් මා හට මතකය.

පිච්චෙන ඇසත් සමඟ අම්මලා සිටි කාමරයේ දොර රෙද්ද අයින් කර කාමරයට දිව ගිය අයුරු මා හට තාමත් දැනෙනවාය.සලරූ සිතුවමක් මෙන් මනසේ මැවෙනවාය.

රෝහලට යන්නට වාහනයක් සොයා ගිය තාත්තාට වාහනයක් හමු නොවී තිබු අතර, එය දරාගත නොහැකිව  ගෙදර ආසන්නයේම කොන්ක්‍රීට් පඩියක් මත ක්ලාන්තය ඇති වී වැටී සිටිනු තනි ඇසකින් දැකි අයුරුද මා හට අද මෙන් මතකය.
වෙළුම් පටිවලින් යුත් හිසකින් සහ වෙළුම්පටි වලින් යුත් ඇස් දෙකකින් තාත්තාත් මමත් ගෙදර පැමිණියෙමු.

Monday, July 13, 2015

සදාකාලික හීන ගොන්නකි...






                                                             සදාකාලික හීන ගොන්නකි
නෙක පිරුණු පැහැ
හිතම පුරවන
හෙමි හෙමින් ඇස් කෙවෙනි හූරන
තුරුල ළඟටම’විත් පලායන


 අතැර දැමු තව හීන මල්ලකි
මුව ලිහී ගොස් නිදහසම ලද ,
තව හීන මල් පරව මියැදුණ
අතීතයෙ මත සුවඳ මුසු වුණ,


දිනෙන් දින කල්පයක් ගතවන
කල්පයක්,තව කල්ප ගණනක්...
බිඳුණු වැහි බිම ඉහිරී යන ලෙස
හීනයක් මෙන්,
සැණින් එසැණින්,
පෙනී නොපෙනෙන.
කටු තුඩක ඇමිණුමක් හිත මත
අකුරු අඳිමින් මකන,හූරන


පිරුණු එළියට,හිරුගේ උණුහුම
දරාගත නොහි හීන කැකුළුද,
අඳුරු කුටියක..
පුස් වු කඩදහි ..
මතම උපදින හීන කැකුළුද,


අළු මතින් මට අත වනන’යුරු
දුටු නුදුටු සේ හිඳින නපුරිය
තව තවත් හිරු රැසට පෙම්බැඳ,
හීන ගළපයි , හීන මුමුණයි.


පුස් සුවඳ රැඳී රැයක අවදිව!!






Saturday, July 4, 2015

පවුලේ සැමට...







කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා ඔන්න ආපහු බ්ලොග් කට්ටේ මොනාහරි ලියන්න හිතුනා. මොනාහරි කිව්වට මොනාහරිම නෙවෙයි.ලොකු පොඩි අපි ඔක්කොමලා කැමති දෙයක් ගැනයි කතා කරන්න හිතුවේ.

ඔන්න ඊයෙ රෑ මංතුමී නිදාගන්න කාරිය ඇඳට ගිය වෙලේ  පුදුම හිතෙන දෙයක් ඇහුනා..

                                                           දුවන්න පනින්න පාඩම් කරන්න 
                                                                තිබුනත් වැඩ ඉස්කෝලේ...
                                                           ඔන්න ඇවිල්ලා ආයේ ඇවිල්ලා 
                                                                සෙල්ලම් කරන්න කාලේ...



Thursday, February 26, 2015

නාරි සිතක්







 ඇය සිනහවෙන්ම මා දෙසට අත දිගු කර බලා සිටියි.

“ඔයාටයි මේ ගෙනාවේ.ගන්න ඉතින්...”

මාගේ අවිශ්වාසී බැල්ම ඇගේ දකුණු  අත්ල වෙත යොමු වෙයි.නේකවර්ණ වූ වීදුරු වළලු පිරි රෝස පැහැති අත්ල මත කුඩා මොට්ටු කීපයකි.

ඇය සෙමෙන් මා අසලටම ලං වනු පෙනෙයි.

මදකින් සිනිඳු අතැඟිලි අතර රැඳී මොට්ටුවක් මා නළලතේ ඉඩ සොයා ගනී.

Wednesday, February 11, 2015

දැකුළු මල් ආදරේ

 විලෝ ගස් වල ඉති හරි හරියට දඟ කරන්න පටන් අරන්.විල් එයිට්ලෙග්ස් එයාගේ පුංචි පෙම්වතියගේ කෙහෙරැල් වලට දැනෙන නොදැනෙන ගානට හුස්ම පිඹිමින් හිටියා.පුංචි වා කවුළුව දිගේ එයාලා හිටපු තැනට ආපු හුළං රොදවල් හින්දා පුංචි මයිටිගේ ඇසිපිය වේගයෙන් සැලුණා.


ඔයා දන්නවනේ විල්...
මම ගොඩාක් ආසා කරන එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ කියලා.ඒ මිලර් නෝනා කවදාහරි අපිව ආදරයෙන් එයාගේ පවුලට පිළිගනීවි කියන එක විතරයි කියල ඔයා හොඳටම දන්නවනේ විල් ...”


පුංචි මයිටි එයාගේ ඉඳිකටු තුඩු වගේ ඇඟිලි තුඩු වලින් කඳුළු පිහදාගන්න ගමන් කෙඳිරුවා.


“මං දන්නවා මගේ සුරංගනාවී..
මං පොරොන්දු වෙනවා ! මං පොරොන්දු වෙනවා මගේ පුංචි මයිටි කුමාරිව  කවදාහරි මිලර් නෝනා ළඟට එක්කන් යනවමයි කියලා.”

විල් එයිට්ලෙග්ස් මහත්මයා බොහොම බැරෑරුම් විදිහට පොරොන්දු උනා.


“හ්ම්ම්ම්...නොයෙල් ඉන්නකම් ඒක හීනයක් විතරයි විල්.මිලර් නෝනා ආදරේ නොයෙල්ට විතරයි.”


පුංචි මයිටි කෙල්ල විල්ගේ කම්මුලේ යාන්තමට හාදුවක් තවරලා තරප්පු පේළියේ අත්වැලට පැන්නා.
“පරිස්සමෙන් මගේ විල් කුමාරයෝ..මං ගිහින් එන්නම්”
“ඔයත් පරිස්සමෙන් මගේ පුංචි සුරංගනාවී!”

විල් මහත්මයාගේ කටහඬ මයිටි කෙල්ලටවත් නෑසුන තරම්.


                         


                    ...........................................................................

Wednesday, January 28, 2015

විකෘති

විකෘති..


 "  ඇයි? "

 "  ඇයි  අහන්නේ?"

 "  මග අරින්න හදනවද ?"

 "  නෑ.දන්නේ නෑ.අනේ මන්දා.මට තේරෙන්නේ නෑ."


මං විදුලි සෝපානයකින් විසිහතරවෙනි තට්ටුවේ ඉඳන් පහලට පහලට ගමන් කරමින් හිටියා.මට මාවම පාලනය කරගන්න බැරි මොහොතක් එන බව මම කලින්ම දැනගෙනයි හිටියේ.
ඒ තරමටම මට අමුතු දේවල් හිතුනා.හැමෝම කියන්නා වගේ එයාට තිබුන දිලිසෙන ඇස් මට පෙනුනේ නෑ.හැමෝම කියන එයාගේ හිනාව මට පෙනුනේ මට විරිත්තනවා වගේ.
 “මං කැමති උනේ නෑ.මුල ඉඳන්ම මම කැමති උනේ නෑ.ඇයි පිළිගන්නේ  නැත්තේ.”

  මං මගේ හිතට ආයෙත් කෑ ගහමින් හිටියා.

ඒත් මං කැමති උනා..අකමැත්ත යට කරන් කැමති උනා.

Wednesday, January 21, 2015

සාස්තරකාරි





          "මයෙ අප්ප කරන කියන හැමදේම හරියන්ට ඕන." 
හොරකමේ යන්න කලින් අම්මට දසමාසෙ කියල වැන්දම අම්ම හරි ආදරෙන් ඔලුව අතගෑවා.
.
.
ඔව්.හොරකම හරි ගියා.
අම්මගෙ ආශිර්වාදෙ හින්දම.
අම්මට මොකක්ද බලයක් තියනවලු.
.
.
දැන් හැමෝම එනවා,
හොරාගෙ අම්මගෙන් පේන අහගන්න.

Monday, January 19, 2015

මේ ඒයි.....

ක්ලිනික් එකේදි මට හම්බුනා හොද යාළුවො ටිකක් ඒයි..
පහල ගෙදර රෝසි එක්ක එහා ගමේ විමලයි,
කඩේ ගෙදර ඩයනයි තව කුරුදුවත්තේ ටීනයි.
අපි ඔක්කොම pregnant වෙලානේ.
ඈ...... මොකක්ද? ඔයාටනම් විහිලු ඒයි..

මගේ ෆැන්ටසිය

හැමදාම අලුතින් පටන්ගන්න ඕන කියල හිතද්දී මොකක් හරි හේතුවක් හින්ද මාව ආපස්සට ඇදෙනවා.ජීවත්වෙන්න ඕන වර්තමානේ මිසක් අතීතේ නෙමෙයි.මං දන්නවා.ඒත් ඇයි මේ? 
මේ හැමදේම වෙන්නේ එක්කෝ මගේ හොඳකට.නැත්නම් වෙන කාගේ හරි හොඳකට.මට හිතන්න පුළුවන් එච්චරයි.
වෙලාවකට මට මහා විකාර දේවල් හිතෙනවා.

දෙන්න සිනහව රුපියලක දවටා..


දෙන්න සිනහව රුපියලක දවටා..
පොවනු ආදරය ටොෆියක රදවා,
දිලිසෙන පාට කොල මත,
ජීවිතේ සොයයි කිරි දරුවෝ.
වැදුනු දත් පහර කේඩෑරි වී ගිය බීම බටයක,
මකනු වස් අතට දෙමු සීතල හිමකිරමක්.
කාණු මත,අගල් වල,සෙවලැති දිය සීරා මැද
පිපුණු පාට මල්..සොයති බිලින්දෝ...
ගැන සිතා කෝපි ත්
බොයි නමුදු සීතල වතුර පමණක්. 
දකියි තම පිලිබිඹු
බිදුනු කැඩපතින් දරුවෝ.
සෙනෙහසේ පහස දෙමු
හිනාවට ආදරේ අපි. 
.
.
.

දෙන්න සිනහව රුපියලක දවටා.
කවදහරි.
                                           - අනුත්තරා