Tuesday, August 25, 2015

මගේ කෙටිම කෙටි කතාව.






පුස්තකාලයක් වුනාම පොඩි අඳුරු පාටක් එක්ක මුහු වුණ පුස් ගඳක් තියෙන්නම ඕනි. ඒ එක්කම පැය බාගෙකට සැරයක් විතර කෑ ගහන කපුටු නාදෙකුත්.

ඒ ඔක්කොම තියෙද්දිත් මට මේ පුස්තකාලේ මොකද්දෝ මන්දා අඩුවක් දැනුනා.


මතක් වුණා !

අර බාගෙට ගැලවුණු කොටු කොටු දැල් තියෙන, ජනේලයක් මෙහෙ තිබ්බේ නැහැනේ.



“වහිනකොට හොරෙන් බලන්න එපා.!”

Friday, August 21, 2015

මතක මාවත | The Memory Lane






වැහි අඳුර ඇති හවස් යාමයකි.අපේ ආච්චි අම්මා වදෙන් පොරෙන් බුදුපහන තැබීමට මා ළඟට ගත්හැටි මතකය. අම්මාත් තාත්තාත් කාමරයේ බර කතාවක්ය.

“ ආච්චී...මම ගාථා කියන්නේ මට හඳුන්කූරු පත්තු කරන්න දුන්නොත් විතරයි.”

“බෑ.බෑ. ඔයා අත පුච්චගනී” 

ආච්චි අම්මාගේ අතේ තිබුණු හඳුන්කූරු උදුරාගත්තෙමි.උදුරාගත් වේගයෙන්ම අතට ආ පත්තු වෙමින් තිබු හඳුන්කූරු නතර වුයේ ඇස් දෙක ළඟ බවත්,ගින්දරින් ඇවිලෙන ඇහි පිහාටුත් සමඟ අම්මලා ලඟට දිව ගිය බවත් මා හට මතකය.

පිච්චෙන ඇසත් සමඟ අම්මලා සිටි කාමරයේ දොර රෙද්ද අයින් කර කාමරයට දිව ගිය අයුරු මා හට තාමත් දැනෙනවාය.සලරූ සිතුවමක් මෙන් මනසේ මැවෙනවාය.

රෝහලට යන්නට වාහනයක් සොයා ගිය තාත්තාට වාහනයක් හමු නොවී තිබු අතර, එය දරාගත නොහැකිව  ගෙදර ආසන්නයේම කොන්ක්‍රීට් පඩියක් මත ක්ලාන්තය ඇති වී වැටී සිටිනු තනි ඇසකින් දැකි අයුරුද මා හට අද මෙන් මතකය.
වෙළුම් පටිවලින් යුත් හිසකින් සහ වෙළුම්පටි වලින් යුත් ඇස් දෙකකින් තාත්තාත් මමත් ගෙදර පැමිණියෙමු.