Friday, August 21, 2015

මතක මාවත | The Memory Lane






වැහි අඳුර ඇති හවස් යාමයකි.අපේ ආච්චි අම්මා වදෙන් පොරෙන් බුදුපහන තැබීමට මා ළඟට ගත්හැටි මතකය. අම්මාත් තාත්තාත් කාමරයේ බර කතාවක්ය.

“ ආච්චී...මම ගාථා කියන්නේ මට හඳුන්කූරු පත්තු කරන්න දුන්නොත් විතරයි.”

“බෑ.බෑ. ඔයා අත පුච්චගනී” 

ආච්චි අම්මාගේ අතේ තිබුණු හඳුන්කූරු උදුරාගත්තෙමි.උදුරාගත් වේගයෙන්ම අතට ආ පත්තු වෙමින් තිබු හඳුන්කූරු නතර වුයේ ඇස් දෙක ළඟ බවත්,ගින්දරින් ඇවිලෙන ඇහි පිහාටුත් සමඟ අම්මලා ලඟට දිව ගිය බවත් මා හට මතකය.

පිච්චෙන ඇසත් සමඟ අම්මලා සිටි කාමරයේ දොර රෙද්ද අයින් කර කාමරයට දිව ගිය අයුරු මා හට තාමත් දැනෙනවාය.සලරූ සිතුවමක් මෙන් මනසේ මැවෙනවාය.

රෝහලට යන්නට වාහනයක් සොයා ගිය තාත්තාට වාහනයක් හමු නොවී තිබු අතර, එය දරාගත නොහැකිව  ගෙදර ආසන්නයේම කොන්ක්‍රීට් පඩියක් මත ක්ලාන්තය ඇති වී වැටී සිටිනු තනි ඇසකින් දැකි අයුරුද මා හට අද මෙන් මතකය.
වෙළුම් පටිවලින් යුත් හිසකින් සහ වෙළුම්පටි වලින් යුත් ඇස් දෙකකින් තාත්තාත් මමත් ගෙදර පැමිණියෙමු.

  *                                                                 
  *

එක්තරා දවසකි. කුරුළු කිචි බිචි ඇසුණු දවසක් ලෙස මාහට මතක නැත.ලස්සනට ඉර පායපු දවසක් ලෙසද මාහට මතක නැත.නමුත් එදින මම ඉස්කෝලේ යන පලවෙනි දවසය.එක වසරටය.නමුත් හිත අඳුරුය.

“තාත්තේ අම්මා කෝ ?” 

 එලෙස අසන්නට හිත දුන්නේද නැත.තාත්තා කලබලෙන් බව දැන සිටියෙමි.

කිසිදා නොදුටු තරම් පිරිසක් මැද තාත්තාද මා දමා ගොසින්ය.
තනිව සිටීම  බිය විය යුතු දෙයක්ද? මා හට නම් එසේ නොවේය.

එදින මා ගෙදර ගියේ කෙසේදැයි මතකයක් නොමැති මුත් ගෙදර යන විට මාගේ පාට්නර් ඉන් ක්‍රයිම් ගෙදර ඇවිත් සිටි බව මා හට මතකය.මම වාගේ නෙමේය.ඒකා රෝස පාටය.නැත.රතු පාටය.
අම්මාගෙන් නම්බරය අසාගෙන ලොකු අක්කාට කෝල් කර “අපේ අම්මා රෝස පාට මල්ලියෙක් ගෙනාවා” යැයි පැවසු අයුරුද මා හට අද මෙන් මතකය.

*
*

එය එක්තරා හැන්දෑ වරුවකි.ඇස් දෙක පුච්චාගැනීමෙන් හා මල්ලි ඉපදීමෙන් දවස් කීපයක් ගතවුනා පමණි. උපරිම මාස දෙකක් ගතවන්නට ඇත.

“චූටි නංගි නැගිටින්න..අන්න තාත්තා තෑග්ගක් ගෙනත්” නිදි සුව විඳින්නට නොදී ලොකු අක්කා මා ඇහැරවූ අයුරු මා හට මතකය.

නින්දෙන් අවදි කරවීමට ඈ බොරු කියනවායැයි සිතූ මුත් එය එසේ නොවුනි.
තාත්තා ,පවුලට තවත් සාමාජිකයෙක් රැගෙනවිත් තිබුණි.

කාර් එකක්!!!

*
*

අපේ ගෙදරට මදක්  ඈතින් පෙනෙන ගෙයකි. මෙහි ජිවත් වූයේ “පප්පා”  සීයාය. මා හට මතක ඔහු මහ හඬින් සිනාසෙන බවත් සෑමදාම ගේ පිටුපස ලිඳෙන් වතුර අදිමින් නාන බවත් පමණය.

ඔහු මිය ගියේය.

දවල් වරුවක ආච්චි අම්මාත් මමත්,ඔහුගේ මළගෙදරට ගියෙමු.

“චූටි දුව ඔතන ඉන්න.මං අරෙහෙට ගිහින් එන්නම්.”  ආච්චි කොහේදෝ යන්නට ගියාය.

මා වාඩිවී සිටි තැනින් සීයා කෙනෙකුද වාඩිවුනි.

“ඔයා ඉස්කෝලේ යනවද?” සීයා ඇසුවේය.

ඔලුව වැනීමි.

“කොච්චර කල් වෙනවද ඉස්කෝලේ යන්න අරන්?” සීයා නැවතත් ඇසුවේය.

මා ඉස්කෝලේ යන්න පටන් ගෙන මාස හෝ අවුරුදු දෙකක් වන බව අම්මා පවසන අයුරු  මතකයේ තිබුන මුත්,මාස සහ අවුරුදු යන වචන දෙකේ වෙනස නොදැන සිටියෙමි.එබැවින් කිව යුත්තේ මාස දෙකයි කියාද ,අවුරුදු දෙකයි කියාද නොවැටහුණු හෙයින් අතෙන් ඇඟිලි දෙකක් පෙන්නා නිහඬ වීමි.

“ ආ අවුරුදු දෙකක්ද ?” සීයා නැවත අසන ලදී.

මම විගස ඔලුව වැනිමි.

“එහෙනම් දුව දෙක වසරේ නේද?” නැවතත් සීයා අසන විට ,
“නැහැ.එක වසරේ” යයි පිළිතුරු බැන්දෙමි.

“එහෙනම් දූ ඉස්කෝලේ ගිහින් තාම මාස දෙකයි” කියා  සීයා සිනාසී යන්නට ගියේය.

කාලය පිලිබඳ නොනවතින ප්‍රශ්න මාලාවක් පුංචි සිතකට ඇතුලත් කල ඒ සීයා ලංකාවේ එක ප්‍රසිද්ධ ටෙලිවිෂන් තරුවක පියෙකි.තරුව රූපවාහිනියෙන් දකින සෑම විටකම ‘පප්පා’ සීයාගේ මළගෙදරත්,  අවුරුදු මාස පිලිබඳ මා මුහුණ පෑ ගැටලුවත් නිතැතින් සිහියට නැගේ.

*
*

දෙක වසර පළමු වාරය බව මා හට මතකය. පාසල් ගවුමට ඇල්ලීමට නිල ලාංඡන දෙකක් රැගෙන ඒමට අම්මා සල්ලි දුන්නාය. කුඩා සිලිමල්ලක බහා,ගුරුතුමිය දුන් ලාංඡන දෙක ගෙදර ගෙනවිත් අම්මාට දුන්නෙමි.මගදී සිලිබෑගය ලෙහා බැලීමට තරම්වත් ඉස්පාසුවක් නොවුනි.

“චූටි දුව මෙහෙ එනවා”

අම්මාගේ කටහඩේ වෙනස් වීම ඒ කාලයේ සිට ඉවෙන් මෙන් දැනේ.යම්කිසි වැරද්දක් අහු වී ඇති සෙයකි.

“මම බැජ් කීයක් ගේන්නද සල්ලි දුන්නේ?” අම්මා ඇසූ අයුරු මතකය.

“ දෙකක් ගේන්න කියලා” මම පිළිතුරු දුන්නෙමි.

“එහෙනම් බැජ් 4ක් කොහෙන්ද?” නැවතත් අම්මා ඇසුවාය.

“ දන්නේ නෑ”  බැජ් හතරක් සිලිබෑගයට පැමිණි අයුරු කල්පනා කරමින් පැවසුයෙමි.

“ හොරකම් කරනවා මදිවට බොරුත් කියනවා මේ ළමයා”

 ජීවිතයටම මා කිසිදා නොදුටු ආකාරයෙන් අම්මා කේන්තියෙන් සිටි බවත්,අතට අහුවුණු කොච්චි කරල් කීපයක් මා මුවේ තැවරුණු බවත්, තාත්තා වැඩ ඇරී නිවසට පැමිණෙන තෙක් ගෙදරින් පිටත කරුවලේ රැඳී සිටින්නට වුනු බවත් මා හට මතකය.

වරද මා අත නොව ගුරුතුමියගේ අතපසුවීමක් බව දැනගත්විට,අම්මා පසු තැවුණු අයුරුද මතකය.තවමත් එය මතක් වන විට අම්මාට හැඬුම් එන අයුරුද මවෙනවාය.

ජීවිතයටම කිසිදා බොරුවක් නොකියමියි යන සිතුවිල්ල, වරදක් නොකලද මගේ හිතේ තදින්ම තැන්පත් වූ අතර ,එදායින් පසු අම්මාට බොරු නොකිව් බවද මා හට මතකය.
 
*
*

එය තුන වසරේ මාර්තු මාසය බව සහතිකවම කිව හැක. උදෑසන ගාථා කියා පන්තියට පැමිණෙන විට අම්මාත් තාත්තාත් දෙදෙනාම පන්තියට පැමිණ සිටි අයුරු මා හට මතකය.

මා වෙන පාසලකට ඇතුලත් කරන්නට යන බව මේ ලොව සිටි ආදරණියම ගුරුතුමියට පවසනුද මා හට මතකය.

එය ඇසුණු මාගේ එක්තරා යෙහෙලියක් මාගේ අම්මා ලඟට දුවවිත්

 “ අනේ ඇන්ටි, අනුත්තරාව එක්කන් යන්න එපා.එයා හොඳ ළමයෙක්.එයා මගේ යාළුවා” කියා හැඬු අයුරුද මා හට මතකය.

දැනටත් ඇය හමුවන සෑම මොහොතකදීම අත දෙකෙන් අල්ලා කතා කිරීමට තරම් , බොහෝ දේ කැපකර ඇය වෙනුවෙන් රැඳෙන්නට තරම් ඇගේ වචන කිහිපය ප්‍රබල වූ බව කිව යුතුය.

*
*

අලුත් පාසලේ බොහෝ දේ මා හට අලුත් වූ බව මතකය. ඉගැන්වීම් රටාවේ සිට ළමුන්ගේ හැසිරීම් රටාව දක්වා සියලු දේ අලුත්  වූයේය.
 ඉතාමත් දඟ වර්ගයේ පිරිමි ළමුන් සහ ඉතාමත් නපුරු වර්ගයේ ගැහැනු ළමුන් සිටි පන්තියකි.

නිමාලි නම් ගැහැණු ළමයෙක් පන්තියේ සිටි අතර, පන්තියේ සියලුම ගැහැණු ළමුන් ඇය අසලටවත් යන්නට අකමැති වූ බව මට මතකය. ඇය පිළිකුල් කරන්නට තරම් කිසිදු හේතුවක් නොතිබුන නමුත්,ඇය අසලින් ගිය විට පවා ගවුම පිහදගන්නා,කොළ කැබලි වලින් මේස පුටු පිහදගන්නා ගැහැණු ළමුන් රාශියක් පන්තියේ සිටි බව මා හට මතකය.

පාසලේ ළමුන්ට මාසිකව ලැබෙන සඟරාවක්, පන්ති නායිකාව විසින් සෑම ළමයෙකුටම බෙදනා අයුරුත්, නිමාලිට පමණක් නොදෙන අයුරුත්,නිමාලිගේ සඟරාව ගුරු මේසය උඩින්තබා ,පසුව පැමිණ ගන්නා ලෙස පවසන අයුරත් මා හට මතකය.

ගැහැණු ළමුන්ට විරුද්ධව තනිව මා යුද වදින්නට තීරණය කල බව මා හට මතකය.  මාගේ දරුණු බැනවැදීම් කීපයකට පසු ගැහැණු ළමුන් සියල්ලන්ම , මාද පිළිකුල් කල යුතු චරිත අතරට දැමිය යුතු බව තීරණය කල බවද ඒ දිනවලම මා පන්ති නායිකා තනතුරට උසස් වීමක් ලද හෙයින් ඔවුන්ගේ කුමන්ත්‍රණය මල් පල නොගැන්වුනු බවද මා හට මතකය.

 ( එලෙස පිළිකුල් කිරීමට තරම් මනසක් ඇති කුඩා දරුවන් නැතැයි කියා නොසිතන්න.අතිශය ආත්මාර්ථකාමී, මේ ලොව සිටින්නේ තමන්ගේ දරුවා පමණකැයි සිතන අම්මලාට දාව ,අතිශය ආත්මාර්ථකාමී දරුවන් උපත ලබන බැවිනි.) 

පන්ති නායිකාව ලෙස කටයුතු කල සමයේ ඉහත කිවූ ඉතාමත් නපුරු වර්ගයේ ගැහැණු ළමයින්ගෙන් නිමාලිව බේරාගැනීමට මා කටයුතු කල බවද මා හට මතකය.

*
*

ශිෂ්‍යත්ව විභාගය සඳහා එකල ඉතා ප්‍රසිද්ධ ගුරුවරයෙකුගේ ටියුෂන් පන්තියකට අම්මා මාව යොමු කල බවද , නමුත් අම්මා රැකියාවක් කල බැවින් පාසල නිමවීමෙන් පසු මා පන්ති රැගෙන යාමට කෙනෙක් නොවුණු බවද මා හට මතකය.

තම දියණියන් පන්ති රැගෙන යන ගෘහනියන් වූ අම්මලා හට , මා ද පන්ති රැගෙන යන ලෙස අම්මා පැවසුවත්, අම්මාට “හා” කියා පසුව මා රැගෙන නොයන බව අම්මා දැනගත් අයුරුද මා හට මතකය. 

කිසිවක් කර කියා ගතහැකි නොවූ මගේ අම්මා, මා හට පරිස්සමට රේල් පාර පැන පාරේ අයිනෙන් පන්තියට යන ලෙසත්,අම්මා හවසට රැකියා කටයුතු නිමකර ගෙදර එන විට මා ගෙදර රැගෙන යන බවත් පැවසූ බවද මතකය.

පාසල නිමවී පැය බාගයක් පමණ යන තුරු මා පාසලේ ඔහේ ඇවිදිමින් සිටි බවත්, පාසලේ වැට අයිනේ වෙරළු විකිණු ආච්චි අම්මා , නැවත බඩුමලු අකුලාගෙන යන විට ඇය පස්සෙන් මා හෙමිහිට පියවර මැනු බවත් මා හට මතකය.

ඒ වෙරළු ආච්චි අම්මා ඉඳහිට ටවුමේ පලා විකුණනු දැනුදු මා හට දකින්නට ලැබේ.

*
*

එය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් අවුරුද්ද විය. ජූනි මැද සතියක් වන්නට ඇත.

“දඩින් බිඩින් දඩින් බිඩින් ”...

මෙවැනි ශබ්ද අපේ පන්තියේ ළමුන්ගේ කනට ඉතා හොඳින් හුරු ශබ්ද විය. පහවසර පන්තිබාර ගුරුතුමිය,ළමුන්ට වරදකට  දඩුවම් කලා නොව දසවද දුන්නාය.

“තමුසේ කවදාවත් විභාගේ පාස් වෙන්නේ නෑ. ගොන් මොලයක් තියෙන්නේ.කිසි කමකට නැහැ.මම ජීවිතේටම දැකපු මෝඩම ළමයා තමුසේ.”

 මාර්ග සංඥා විදුලි පරිපථයක් සාදා නොගෙන ගිය මා හට ඇය “දඩින් බිඩින්” කර දනගැස්සුවා මතකය.

ප්‍රතිපල කියන්නට ගිය විට “මම දන්නවා ඔයා පාස් වෙනවා කියල.කලින්ම මම ඔයාට කියල තිබ්බනේ.” යැයි පැවසූ ඇයට දනගසා වැඳ ගෙදර ආ අයුරු මා හට මතකය.

දැනුදු මාර්ග සංඥා පද්ධතියක් අසල රතු එළියකට නැවතුනු විට, “දඩින් බිඩින්” ගුරුතුමිය මතකයට නැගෙනු මා හට වැළක්විය නොහැක.

*
*

අම්මාත් තාත්තාත් රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගිය පසු මල්ලිත් මමත් ආච්චි අම්මාත් නිවසේ තනිව සිටින වේලාවන් මා හට මතකය.

තිදෙනාම එක්ව කරාබුනැටි ගසෙන්  වැටෙන කරාබු නැටි අහුලන අයුරුත්,මිදුල අස් කරන අයුරුත් මා හට මතකය. ඉන්පසු ආච්චි අම්මා උයන්නට යන අතරේ මල්ලිත් මමත් කුමක් හෝ සෙල්ලමක යෙදුන අයුරුත්, හදිසියේවත් ඈත යන මාළු වෙළෙන්දෙකුගේ හඬ ඇසුනහොත්, ආච්චි අම්මාගෙන් අසා “මාලූ...මාලූ..” යයි මහ හඩින් බෙරිහන් දුන් අයුරුත් මා හට මතකය. 

අපේ කටහඬ ඔස්සේ මාළු වෙළෙන්දා නිවසට පැමිණ මාළු කපා දෙන අයුරුත්, මාළු පෙට්ටියට උස නොවූ මම ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් මාළු පෙට්ටිය ඇතුලේ සිටින මාළුන් බැලීමට දුක් විඳි අයුරුත් මා හට මතකය.

*
*
*

මෙලෙස මතකයන් හා ගැටෙමින් තව තව මතකයන් මා සිත් තුලට එකතු වනවා මා හට මතකය.
ඉදින්,
කාලය දුවන වේගයෙන්ම මතක මාවත මෙලෙස දිගට දිගට දිවෙනවාය. අනේක වූ සිද්ධීන් මැද මගේ ජීවිතය ඉදිරියටම යනවාය.බොහෝ වැදගත් සිද්ධීන් ක්ෂණයෙන් මා සිතින් අමතක වනවාය.කිසිදු වැදගැම්මකට නැතැයි සිතන සිද්ධීන් ඉතා හොඳින් මතක තියෙනවාය.මල් පෙති පිරුණු පාරක් ඉදිරියේ ඇතැයි සිතමින් කටු තුඩු මතින් මතක මාවත පසු  කරගෙන මම ටිකෙන් ටික ඉදිරියට අඩි තියනවාය.
 සැබවින්ම මේ සියල්ල මා හට රසවත් මතකයන්ය. ඒ ඒ කාලවලදී කටුක යයි හැඟුනද, වර්තමානයේදී අතීතය සිහි කරනා විට හිත මුදුනටම පැමිණෙන මතකයන්ය. ලියා ඇත්තේ මා හට අවුරුදු දහයක වයස සීමාවක් තුලදී අත්විඳින්නට සිදු වූ සිදුවීම් වලින් ඉතා ස්වල්පයක් පමණක්ය.ඉතිරි අවුරුදු දහයේ මතකයන්ද එකතු කරන්නට බලාපොරොත්තු වෙනවාය.හැබැයි දින නියමයක් නොමැති බවත් පවසනවාය.

පෝස්ටුව අවසන් කරන්නට අවසරත් යදිනවාය!!




ප.ලි.  :-   අපේ “ බස්සිගේ නවාතැන” ලියන බස්සි අක්කාගේ “වීරයා මැරුණේ පෑන හිරවීමෙන්ද?” කියන ලිපිය කියවල තමයි මට වැළඳිලා තිබ්බ “හිස් පිටු සින්ඩ්‍රෝමය” අඳුනගත්තෙ. ඉතින් ඒකට බස්සි අක්කටම කියල බෙහෙතුත් අරගෙන , ලියපු පෝස්ට් එක තමයි මේක.බස්සි අක්කට බොහොම ස්තුතියි හොඳේ..




7 comments:

  1. මරු පෝස්ට් එකක් නංගා! හරිම ලස්සනට ලියල තියෙනව. මටත් පොඩි කාලෙ මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි අක්කේ!

      Delete
  2. අපූරු මතක සැමරුමක්. අංකුර ලේඛිකාවක් අවදිවන බව පේනව. එහෙත් සමහර තැන්වලදී ලේඛණ රීතින් බිඳීම රචනාවේ අලංකාරයට බාධාවක්. ‘‘මා හට මතකය.‘‘ යන යෙදුම නිතර නිතර පුනරුච්චාඡාරණය කිරීම රසික වින්දනයට බාධාවකි. බස පිළිබ‍ඳ නිවැරදි අවබෝධයක් නොමැතිකමට එය කදිම සාක්ෂියකි. විවිධ ලේඛණ ශෛලීන් අධ්‍යයනය කිරීමෙන් මෙය මගහරවා ගත හැකිවෙයි.
    සාර්ථක උත්සාහයකි.
    යළි උපන්නෙමි, පුංචි පැලේ ගස වෙනා, තුංමංහංදිය වැනි ආත්ම ප්‍රකාශනයේ යෙදෙන කෘතීන් කියවන්න... ඔබට වෙනස දැනේවි.
    සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. උපදෙස් වලට ගොඩක් ස්තුතියි දුමි මාමේ.වැරදි හදාගන්නම්. අනිවාර්යෙන්ම :)

      Delete
  3. ලියැවිල්ල නියමයි................ හැකියාව අගය කරනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු :)

      Delete
  4. නොනැවතී එක දිගට කියවීමට යොමුකරන ශෛලියක් ඔයාට තියෙනවා බතලියේ දිගටම ලියන්න
    මාව පුංචි කාලෙට අරන් ගියා :*

    ReplyDelete