Monday, February 29, 2016

අපි කවදාහරි ආයෙත් හමුවේවි.





මේ දවස් හරිම ගිනියමයි. මිනිස්සු බලාගෙන ඉන්නවා වතුර බිංදු ටිකක් අහසින් වැටෙනකම්.
ඉතින් අපි හයියෙන් වැස්සහමත් අහසට බනිනවා. පොඩ්ඩක් වැස්සහමත් අහසට බනිනවා.හොඳටම පෑව්වත් ඒත් අහසට බනිනවා. ඒත් ඉතින් අහස කියන්නෙ අහසටම තමයි. අපි කොච්චර කන්කෙඳිරි ගෑවත්,දුක කිව්වත්,බැන්නත්, අහස අහසට ඕනි විදියට ඉන්නවා.

හරියට සමහර මිනිස්සු වගේ. ඔයාලා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා අහස වගේ වෙනස් වෙනවා. ඒත් අනික් අය ගැන හිතලා නෙමෙයි. එයාලා එයාලට ඕනි විදියට වෙනස් වෙනවා. ලාබ ප්‍රයෝජන බලන් එයාලා ලඟ ඉන්න අයගෙන් සමහරක්ට ඒ අහස වගේ වෙනස් වෙන මනුස්සයගෙන් වාසි ගොඩයි. සමහරක්ට එයාගෙන් අවාසිම විතරයි.
එතකොට ඇත්තටම ආදරෙන් එයා ළඟ ඉන්න කෙනාට මොනාද හම්බෙන්නෙ.එයාට හම්බෙන්නෙ වේදනාවක් හිත රිදීමක් විතරයි.

Saturday, February 6, 2016

රහසක්ම වී මියෙන..





විසල් අහසක් යටම
වළාකුල් මගා’රින
කිරිල්ලියෝ ඇති නේද
තටු ගසනු අකමැතිම
දහස් දුර ඇවිද යන..

ඉදින් ලොව මල් නැතිද
නේක විධ වූ වර්ණ
පිපෙන්නට අකමැතිම
බඹරුන්ව නොරුස්සන
රෑ හඳට පෙම් කරන..

හරිත පැහැ ලෝකයක
හුස්ම දෙන ගස්වැල් ම
සිතනවා නොවනු වෙද
සුළඟකට පාවෙන්න,
නෑසියන් හමුවෙන්න..

තවත්,
හිඳීවිද අම්මලා
නොකියනා දැරියන්ට
මේ කෙල්ල “කොල්ලෙක්ම”
වී තිබුණි නම් යෙහෙකි!

කොතෙකුත්,
සිටින්නට බැරි කිමද
කෙලිත්තියො තව තවත්
අනේ මම වූවා නම්
“කොල්ලෙක්ම” යැයි සිතන..





   ප.ලි.
 (: Blue is the warmest color චිත්‍රපටය නරඹා තත්පරයකට ඇතිවූ සිතිවිල්ලකි )

Wednesday, February 3, 2016

ඔයාට ....

මං අහන්නෙ, කාටහරි පුළුවන්ද රැහැයි සද්දෙ විතරක් ඇහෙන, යටිපතුල් දෙක  හීනියට හිරි වැටෙන මහ පාන්දරක ඇහැරගෙන,පොඩිම පොඩි සද්දයක්වත් නෑහෙන තරමට,මුළු ලෝකෙටම හොරෙන් ගෑස් කුකර් එක ඔන් කරලා කෝපි කෝප්පයක් හදාගන්න!!.

මං තනියම ඉන්න වෙලාවක උනත් මහ රෑට ගෑස් කුකර් එක ඔන් කරනකොට හරි, ෆ්රිජ් එක අරිනකොට හරි, "චූටි දුව.." කියලා සද්දයක් කොහෙන් හරි ඇහෙයි කියලා හිතේ පොඩි තිගැස්මක් නැතුවම නෙමෙයි. ඒක හැමෝටම සාමාන්ය වෙච්ච දෙයක් කියලා හිතලා,ඇඳේ මුල්ලකින් වාඩි වෙලා පොරෝණයක් ඇඟේ ඔතාගෙන ඔයාව අහන එක විතරයි මට මේ වෙලාවෙ ඕනි...