Sunday, March 6, 2016

නොදරු ආල





අමතක කරන්න..
ඔව් ඇත්තටම මතක නැහැ තමයි ඉන්දුමතී.
මට ඇත්තටම මතක නෑ මං එයාට කැමති වෙන්න පටන් ගත්තේ මොන වෙලේ ඉඳන්ද කියලා.
කැමැත්තකටත් වඩා මහා මොකක්දෝ අමුතු හැඟීමක්.
ඒ ඇස් වලට නෙමෙයි මම කැමති උනේ.
ඒ හිනාවටත් නෙමෙයි මම කැමති උනේ.
ඒත් ඊටත් වඩා මොකක්දෝ නොතේරෙන දෙයක්.
ඒ ඇස් දෙක කාටවත් අතරමං වෙන්න හිතෙන ඇස් දෙකක් නෙමෙයි කියලා ඉන්දුමතී මට පුන පුනා කිව්වත්, මං ඒ තේරුමක් නැති ඇස් අස්සේ අතරමං වෙන්න ආස කළා.



අපි හොඳම යාළුවො.
නැහැ. යාළුවො නෙමෙයි. එයා කවදාවත් මාව යාලුවෙක් විදියට පිළිගත්තේ නෑ. මමත් එහෙමයි. 
එයා මගෙ යාලුවෙක් නෙමෙයි. ඉන්දුමතී අහන හැම වෙලාවකම මම කිව්වෙත් එහෙම.
ඉතින් එහෙනම් කවුද ? එයා ඔයාට හොඳ අයියෙක් ද?
නෑ නෑ. එයා මට අයියා කෙනෙක් නෙමෙයි.
මම එයාට නංගි කෙනෙකුත් නෙමෙයි.
ඉන්දුමතී ට පිස්සු.
ඔව් ඉන්දුමතී ඔයාට නම් පිස්සු.

අපි ගියා ට්‍රිප් එකක්.
ගොඩක් දුර ට්‍රිප් එකක්.
මට මතක එයා නර්මදා කියන විසාංකුර මන්තරකාරි එක්ක හිනාවුනා කියලා විතරයි.
අනේ ඉන්දුමති.. බලන්න අර ඇස් මන්තරකාරි එක්ක හිනාවෙන හැටි.
ඉන්දුමතිගේ අත සීරිලා තිබුනා. දිවුරන්නම් මම නියපොතු වවලා හිටියෙ නෑ ඉන්දුමතී!

ඉතින් කොහොමද ආච්චි අම්මේ!
එයා එහෙම අහද්දි මට කියන්න ඕනි උනා මට ඔයා එක්කම වයසට යන්න ඕනි කියල.
ඒත් කියන්නෙ කොහොමද, ඉන්දුමතී මගෙ අත කොනිති ගහපු සැරට මට කඳුළු පිරුනා විතරමයි.
ඉන්දුමතී... ඔයා නියපොතු කපලා නෑ !

නර්මදා කසාද බඳිනවලු
ඉන්දුමතීගේ පණිවිඩ!
හිත ගැස්සුණ තරම්.... කවුරුහරි පොඩි අල්පෙනෙත්ති ගොඩකින් අනිනවා වගේ.
නර්මදා කසාද බඳින්නේ දේවින්ද  ව නෙමෙයි කියලා කිව්වේ නැති එකත් හොඳයි ඉන්දුමතී.

ආදරෙයි. දේවින්ද  මං ආදරෙයි.
ඒ ඇස් දිහාම බලාගෙන මං ඒ වචන ටික කියාගත්තා.
ඉන්දුමතී.. ඔයා හරි. ඒ ඇස් වල අතරමං වෙන්න මට ඉඩක් තිබුනේ නැහැ.

ඒ ඇස් අහක බැලුවා.
අනේ මාත් එක්ක හිනාවුනේ නෑනේ ඉන්දුමතී. ඒත් එයා මට හිනාවුණා. 

එකම එක වතාවකට මට ඒ අත් දෙක අල්ලන් ඉන්න හිතුනා.
එකම එක වතාවකට මට එයාගේ  කම්මුලට මගෙ කම්මුල තියන් ඉන්න හිතුනා.
ඇත්තමයි ඉන්දුමතී..
වයසට යනකල්ම එහෙම ඉන්න ඕනි නෑ. අනේ එකම එක වතාවක් මට මැරෙනකම්ම ඇති ඉන්දුමතී.

දේවින්ද ඇයි ඔයා මට හිනා වුනේ?
 මම එහෙම ඇහුවේ නැහැ.
ඔයා කිව්වෙත් නෑ.
ඔයා තවම පොඩි දරුවෙක්.
ඔච්චරමයි ඔයා කිව්වේ.

දරුවෙක් !
ඔයා ගොඩක් වයස උන හින්දම මම දරුවෙක් නෙමෙයි දේවින්ද.
මාව ආපහු බස් එකට ගොඩ කරද්දීවත් , අන්තිම වතාවට හරි හිනාවෙන ඇස් දෙකක් දකින්න මම ආසාවෙන් හිටියා ඉන්දුමතී.

එකම එක වතාවකට ඔයාට මගෙන් අහන්න තිබුනනේ දේවින්ද!
එකම එක වතාවකට.
මං කාගෙද කියලා මමවත් දන්නේ නැති කොට ඔයා කොහොමද එහෙම දෙයක් හිතුවෙවත්.
මං ඔයාට මුලින්ම කිව්වා.
මං මුලින්ම ඔයාට ආදරෙයි කියලා කිව්වා නේද දේවින්ද.
අනේ මට ඒකවත් කියන්න.

ඉන්දුමතී..
එයා මගෙ අත අල්ලගන්න හැදුවා විතරයි.
ඔයා එතකොටම එතනට ආවනේ ඉන්දුමතී.
එයාගේ ඇස් වල කඳුළුද?
අනේ ඉන්දුමති. එකම එක වතාවකට මට එයා ලඟට යන්න දෙන්න.

ඇයි ඉන්දුමතී..
එයා නරක කෙනෙක් නෙමෙයි.ඇත්තමයි.
අනේ එකම එක වතාවකට මට යන්න දෙන්න.
හා විශ්වාස නැත්නම් ඔයත් මාත් එක්ක එන්න.
අනේ බැහැ කියන්නෙපා ඉන්දුමතී.

එයාට එහෙම කිව්වේ ඇයි කියලවත් මට ඔයාගෙන් අහන්න හිතක් නෑ.
ඇත්තමයි ඉන්දුමතී.
මේ හැමදේම හීනයක් වෙලා  එක රැයකින් ඔක්කොම ඉවර වෙනවනම් කියලා මට හිතෙනවා දැන්.
යන්න ඉන්දුමතී.
ඉක්මනටම යන්න.
මට දැන් තනියක් නෑ ඇත්තමයි.

ඉන්දුමතී.
මගෙ හොඳම යාලුවා.
ඒත් මම ඔයාගේ හොඳම යාළුවා නෙමෙයි නේද ඉන්දුමතී.
අනේ දේවින්ද කියන්නෙ මගෙ ජීවිතේම කියලා ඔයා දැනන් හිටියා නේද ඉන්දුමතී..
හිත හදාගෙන මම කොහොමද ඉන්දුමතී ඔයාට නපුරු මන්තරකාරියක් කියලා කියන්නේ.

මේ ආත්මෙට විතරමයි ඉන්දුමතී..
මේ ආත්මෙට විතරමයි.







16 comments:

  1. ඒක පාර්ශවික ප්‍රේමයක්..ඇහැට කඳුලක් ආවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති ඩබ්.කේ.

      Delete
  2. හරිම සුන්දරට ගොතලා.... අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු!

      Delete
  3. යාලුවෙක් ලග ආදරයක් අතරමන් වෙලා...
    ලස්සනයි හන්චියේ...

    ReplyDelete
    Replies
    1. යාළුවො ලඟදි එහෙම වෙනවා සමහර වෙලේට. ස්තුති ගිම්මියෝ...

      Delete
  4. මන් ටෝව හම ගහනවා හිටපිකො >_<

    ReplyDelete
    Replies
    1. හුටා...
      ඒක නං හෙනම දරුණුයි වගේ හැක්

      Delete
    2. ඇනෝ: ගැත්තාට අනුකම්පා කරන්න

      මහේෂ්: එකනේ. මේ ඇනෝ හෙන දරුණුයි..... :(

      Delete
    3. ඇනෝ: ගැත්තාට අනුකම්පා කරන්න

      මහේෂ්: එකනේ. මේ ඇනෝ හෙන දරුණුයි..... :(

      Delete
  5. මටත් ආසයි ආදරේ කොරන්ඩ...හික් හික්.

    ReplyDelete
    Replies
    1. කුකුලෝ ආදරේ කරාම මොකෝ ඉතින් >_<

      Delete
  6. හැමෝටම මෙහෙම ජිවිතේ එක පාරක් හරි ඒකපාර්ශවික ආදරයක් තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් යසිත්. ඒ කතාව ඇත්ත. :)

      Delete
  7. ඒක පාර්ශවිය වුණාට වඩා මට මෙතන දෙන්නෙක්ගෙ කතාවක් පේනව
    මරු ඈ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ඒක පාර්ශවිය ආදරයක් නෙමෙයි මහේෂ්. එක්කෙනෙක් ඉන්නෝ කතාව තේරුන. අම්මෝ සන්තෝසයි............... :)

      Delete