Thursday, June 16, 2016

නෝනා සොයාගත් විමුක්තිය




නළල කොනින් නැගෙන දාඩිය බිඳු වැලමිටින් පිස දමමින් , කඩිමුඩියේ එහෙ මෙහෙ යන මිනිසුන්‍ ය. ඇස් හීනි කොට අහස් කුස දෙස බලා වැහි වළාකුලක් හෝ ඇත්දැයි පිරික්සන මහල්ලන්‍ ය. අම්මාගෙන් ඉල්ලාගත් රුපියල් පහක් අතමිට මොලවන් අයිස් පැකට් කන්නට කඩේට දුවනා කොලු ගැටවුන්‍ ය.

සෙවණට කියාවත් එක් ගසක් හෝ නොමැති පුරන්ව ගිය ඉඩමක ඔහේ ඈඳිගෙන සිටින නෝනා පිළිබඳ මේ කාහටවත් වගක් නැති සෙයකි.

"ඉබාගාතෙ ඇවිදන් යනවට වඩා මෙහෙම ඉන්නෙක සැපක්. රස්නෙන් අඩුවක් නම් නෑ තමයි. ඒත් ඉස්සරහ ගෙදර ඉන්න මනුස්සයා වතුර ඩිංගිත්තක් හරි දෙනවනෙ. ඒ මදෑ."

නෝනා මෙසේ සිතනවා විය යුතුය.

හමායන වියළි සුළඟට මුහුණ අල්ලා සිටින හේ විටින් විට ඇඟේ වසන මැස්සෙක් එලවන්නටවත් අතපය නොසොල්වන සැටියකි.

නෝනා.. නෝනා... 

කවුරුන් හෝ ඇය අමතන අයුරක් දිස්වේ.

අන්කවරෙකුත් නොව මරිතිනා ආච්චීය. 

"නෝනා.. වරෙන් මයෙ අම්මා ගෙදර යන්න. "

"බලාපන් අව්වට උඹ පිච්චෙන හැටි, හිසට වහලක් නැතුව උඹ කොහොමෑ මයෙ අම්මා මෙහෙම ඉන්නෙ"

"යමන් මා එක්ක ගෙදර "  මරිතිනා ආච්චි සෙමෙන් නෝනාගෙ හිස අතගාන්නට සැරසෙයි. 
හිස අතගාන්නට තබා ඇය දෙස බලනවාටවත් නෝනා කැමති නැති සෙයකි.

මරිතිනා ආච්චි කෙතරම් පිණ්සේන්ඩු වූවත් කනකට නොගත්තී ඈ.

හිතුවක්කාර ඈ. 
මැදි වයසේ විය හැකි,පිරුණු සිරුරකට උරුමකම් කියනා ඈ. 

පෙර කලෙක මරිතිනා ආච්චි අතින් නෝනාට යම්කිසි වරදක් වී ඇති සෙයකි.


හිරිඟඩු පිපෙනා සීතලක් සමඟ ගත පුරා සුළඟක් දැවටෙයි. වැස්සකට පෙරමං කියනා ආකාසය ය.
පෙර පැවති ගත දවන ගිනියම අවසන් බව ඈතින් පාව එන කළු වළාකුලු පුන පුනා කියන හඬ , ගර්ජනයක් මෙන් ඇසෙයි.

සිහින් පොද වැටෙයි. කතාකරනා දෙයක්වත් නෑසෙන තරමට වර්ෂාව වැඩිවේ.

ඈ තවමත් සුපුරුදු ඉරියව්වෙන් ඈඳිගෙන සිටියි.
නෝනා..
ඈ හට මහ වැසි ගාණක්වත් නැති සැටියකි.

නණ කැඩුණු කුඩයකුත් ගෙන මරිතිනා ආච්චි නෝනා සිටින පැත්තට එන්නීය.

ඇය නැවතත් නෝනාට පිණ්සේන්ඩු වෙයි.


අකීකරු දරුවන් සැමතැනම.

මරිතිනා ආච්චි දෙස්දෙවොල් තියමින් යනු මහවැස්සේ ඇසී නෑසී යයි.

මුළු ගිනියම් කාලය පුරාමත්, වර්ෂා කාලය පුරාමත් නිවස දෙසවත් නොබලන්නී නෝනා.


ඇය මහත් නිදහසක් අත්විඳින බැව් ඇගේ මුහුණින් පෙනේ. පමණට වඩා වයසක් පෙනෙන්නේ ඇය විඳි දුක් පීඩා නිසාදැයි නොදන්නා මුත් වියපත් ඒ මුහුණ මහත් සැනසීමකින් පිරී ඇති සෙයක් දිස්වේ .

කරුණාවන්ත ඇස් ඇත්තී නෝනා...


වේදනාබර රාත්‍රීන් ඈ හට මතකය. මහ වරුසාවක් මැද්දේ උපත ලද පුංචි පුතුත් , තම වේදනාබර විලාපයන් අසාගෙන ළඟින්ම සිටි ප්‍රාණසම ඔහුත් විටින් විට ඈ සිත පාරවයි.

එවැනිම වූ තවත් රාත්‍රියක ඔහු ඈගෙන් සමුගැන්මත්, තවත් රාත්‍රියක ඇගේ පුංචි පුතා තමන්වත් නොදන්නා ඈත පලාතකදී නරුමයන් අතින් මියගිය වගත් ඈ නොදන්නවා නොවේ.

වේදනාවන් ඈ හට ශක්තියක් වූ සෙයකි. ජීවිතයේ වටිනාකම් ඈ හට අහිමි වීමෙන් පසුත් කුමක් සඳහා නම් තවත් වහල්කම් කරන්නටද?

නිවස අත් හරින්නට තීරණය කරන්නී නෝනාය.

ඇයට යෑමට තැනක් නොමැත.
බොහෝ දුරක් ඇවිදින්නටද ශක්තියක් නොමැත.
තම නිවස අද්දරට පැමිණි විට ඈතින් පෙනෙන තැනිතලාවක් වැනි කොටස පිළිබඳ මායාමය හැඟීමක් මතක ඇති කාලයක සිට හිතේ සක්මන් කළ බව ඈ හට මතක් වේ.

ඇය ගමන පටන් ගත්තාය.
මායාමය භූමියක්!
ඈතින් පෙනෙන ඒ භූමිය ඇගේ පැමිණීමට සූදානම් වන සෙයකි.
තැනිතලාව දෙපස කුඩා තෘණ පත් දලුලනයුරු පෙනෙයි. 
ඇගේ කුසගින්නට එය තරම් නොවේද?


සැනසුම් සුසුමක් හෙලන්නී නෝනා ය.

රැහැනින් වෙලී මග දෙපස යන ඇගේ සගයන්ට ආඩම්බර බැල්මකින් සංග්‍රහ කරන්නී නෝනාය.

අවසන විමුක්තිය සොයා ගත් , එඩිතරවන්තී ඈ නමින් නෝනාය.

.


බෝඩිමේ සිට නිවාඩුවට ගෙදර පැමිණි ඈ හතර වට සක්මන් කරමින් සිටියි.

නැවතත් මහ වැස්සක්.

"හම්බෝ ඇති යන්තම්. මං නම් කැමතිම හැමදාම මෙහෙම හයියෙන් වහිනවට."

ඈ නිවස ඉදිරිපස කණුවක් බදා තැනිතලාවක් වන් පුරන් ඉඩමක් දෙස නලියන දෙනෙතින් බලා හිඳී.

ඈ කලබල වීමට තරම් යමක් දුටු සෙයකි.

" තාත්තේ.. තාත්තේ... " මහ හඬින් බෙරිහන් දෙන්නී ඈ.

" තාත්තා.. අර බලන්නකො. අර හරකා හොඳටම තෙමෙනවනෙ. මේ වැස්සෙ. අයිතිකාරයොන්ටවත් ගානක් නෑ "

තාත්තා සිනාසෙයි.

" එයාගෙ නම නෝනා. ගෙදරින් එක්ක යන්න ආවට යන්නෑ. හෙන මුරණ්ඩුයි. අයිතිකාරයො නම් කියන්නෙ දවසක් නෝනට නරක වචනෙකින් කතා කරපු හින්දා තරහා වෙලා ගෙදරින් ඇවිත් කියලා. "

"හ්ම්ම්... "  ඇයට සිතන්නට දේවල් ඇති සෙයකි.

ඈ ගේ ඉදිරිපසට ගොස්  " නෝනා " යැයි කතා කළ සැනින් ගේට්ටුව ළඟට පැමිණෙන්නටත් ඈ දෙන වතුර බාල්දිය බීමටත් තරම් දැන් ඇයව විශ්වාස කරන්නී නෝනාය.

නෝනා සොයාගත් විමුක්තිය, සදා ඈ සමඟ රැඳේවා !!!


( ඇත්ත කතාවක් )

5 comments:

  1. මේක මරු :D හරි අපූරුයි..නිකංවත් මුල හරිය කියවද්දි හිතුනෙ නෑ ඒ නෝන මේ වගේ නෝනෙක් කියල :D

    දොන් පීටර් පියතුමත් මේ වගේම කතා ගොඩක් ලියල තියනෝ. ඩිංකි, සොබා දහමෙන් ඇසෙන ජනකතා.. වෙනස්ම විදියකට හිතන නිර්මාණ :)

    ReplyDelete
    Replies
    1. අනේ මං මේ කොමෙන්ට් එක දැක්කෙ දැන්නෙ මුදී. බොහෝම ස්තූති ! මේ නෝනා තාම ඉන්නෝ අපේ ගෙදර ඉස්සරහ වත්තෙ. 😊

      දොන් පීටර් පියතුමාගෙ වනගත ළමෝ විතරයි කියවල තියෙන්නෙ මං. අනික්වත් හොයාගන්න ඕනි බලන්න.

      Delete
    2. අනේ මං මේ කොමෙන්ට් එක දැක්කෙ දැන්නෙ මුදී. බොහෝම ස්තූති ! මේ නෝනා තාම ඉන්නෝ අපේ ගෙදර ඉස්සරහ වත්තෙ. 😊

      දොන් පීටර් පියතුමාගෙ වනගත ළමෝ විතරයි කියවල තියෙන්නෙ මං. අනික්වත් හොයාගන්න ඕනි බලන්න.

      Delete