Saturday, October 17, 2015

ඉංග්‍රීසියි අපියි







අපේ ගෙදරට අද එනවා පුංචි දරුවෙක්.තුන වසරේ.ඉංග්‍රීසි පන්තියේ වැඩක් අහගන්න.
ටීචර් දීලා තියන වැඩේ මේකයි. රවුමක් ඇතුලේ ලියලා තියනවා දහයේ ඉඳන් තිහට යනකම් ඉලක්කම් වලට කියන වචන. ඒ වචන වලින් විස්සේ ඉඳන් තිහට යනකම් තියන වචන ටික තමයි තෝරන්න ඕනි. බැලූ බැල්මට හරි සරලයි.
ඉස්සෙල්ලම මම ඇහුවේ කීයට එනකම් ඉංග්‍රීසියෙන් ඉලක්කම් දන්නවද කියලයි.අමාරුවෙන් පනහට වෙනකම් කියන්න දන්නවා.
මම ඊටපස්සේ කිව්වා,හරි දැන් එහෙනම් පුතේ විස්සේ ඉඳන් තිහට එනකම් තියන වචන මෙතනින් තෝරන්න කියලා.
හිතාගන්න පුලුවන්ද?ඒ ළමයා පනහට වෙනකම් ඉංග්‍රීසියෙන්  කියන්න දන්නවා.කටපාඩමින් අකුරුත් කියන්න දන්නවා. අනේ ඒත් ඒ දරුවා පොතේ තියන වචනය කියවගන්න දන්නේ නැහැ.වැරැද්ද කොතනද? ඇත්තටම මට ඒ වෙලේ කරකියාගන්න දෙයක් නැති උනා. උගන්වන ගුරුතුමා දන්නේ නැද්ද කටපාඩම් කෙරෙව්වට මේ ළමයට කියවගන්න තේරෙන්නේ නෑ කියලා?



අවුරුදු තුනේ ඉඳන් ඕලෙවල් ඒලෙවල් පන්ති වෙනකනුත් එතනින් එහාට එක එක ජාතියේ සිව් මාසික හය මාසික පාඨමාලා කියා කියා එතනිනුත් එහාට ඩිප්ලෝමා ,උසස් ඩිප්ලෝමා කියා කියා ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ රටේ ළමයින්ට/තරුණ තරුණියන්ට හරියට මේ ඉංග්‍රීසි භාෂාව බැරි ඇයි?



සාමාන්‍යයෙන් කෙනෙක්ට අවුරුදු විස්සක් වෙද්දී ඒ කෙනා අවම වශයෙන් එයාගේ ජිවිත කාලෙන් අවුරුදු පහලවක්වත් මේ භාෂාව ඉගෙනගන්න වැය කරලා තියනවා.ඒත් ඉංග්‍රීසි බැරි ඇයි?

මට හිතෙන්නෙම මේක මේ අධ්‍යාපන රටාවේම ප්‍රශ්නයක්.

පොඩි කාලෙම අම්මලා, බබාලව එලකියුෂන් අරන් යන්නේ මොකටද?ඇත්තටම දරුවාගේ වචන උච්චාරණය හරි ගස්සවන්නද,නැත්නම් එකෙන් තියන අර විභාග පාස් උනාම හම්බෙන සහතිකේ ගන්නද?

ඊට පස්සේ එක වසරේ ඉඳන් පහ වසර වෙනකම් ආපහු ඉංග්‍රීසි පන්ති වලට යවනවා.එතනින් කරන එකම දේ ශිෂ්‍යත්වයට වෙනකම් තියන ,ඔක්කෝම වචන කටපාඩම් කරවනවා.

තමන් ගැන ඉංග්‍රීසියෙන් කියන්න කියනවා.ඊට කලින් පන්තියේ ටීචර්,ටීචර්ට ඕනි විදියට ළමයින්ගේ “තමන්ව” ගොඩ නගලා පොතේ ලියාගන්න දෙනවා.ළමයි ඒක කටපාඩම් කරනවා.ඊට පස්සේ ඒ කට පාඩම් කරවපු “මයිසේල්ෆ්” ඒ ලෙවල් වෙනකම්ම ටීචර්ලා අතින් වැඩි දියුණු වෙනවා.

ළමයින්ට තමන් ගැන,තමන්ට ඕනි දේ ගැන, තමන් දන්න දේවල් ගැන කියාගන්න කිසිම අවස්තාවක් ලැබෙනවා කියල ඔයාලා හිතනවද?

තමන්ගේ රට ගැන ඉංග්‍රීසියෙන් කියන්න කියනවා.ටීචර්ලා ආපහු ටිචර්ලගේ රට ගැන, දේශාභිමානය උතුරන විදියෙ කතාවක්, ළමයින්ට කටපාඩම් කරගන්න ලියලා දෙනවා. අඩු ගානේ තමන්ගේ රටේ තමන්ට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවද නැද්ද කියලා කියාගන්නවත් ඒ ළමයින්ට තේරෙනවද?ඒ ළමයින්ට ඉඩක් දෙනවද?

පාසලෙනුත් ඉංග්‍රීසි විෂය නිර්දේශයක් ඉගෙනගෙන,ටියුෂන් එකෙනුත් ඒ විෂය නිර්දේශයම ඉගෙන ගන්න එකේ පල රහිත බව ඇයි නොතේරෙන්නේ? අඩුම තරමේ අට වසරට නවය වසරට එද්දීවත් ඒක ළමයටම හරි තේරෙන්න ඕනි.

විභාග වලට ලියන්න ,ඒවා පාස් වෙන්න තරම් දැනුම තියන අපේ ළමයි, ජොබ් ඉන්ටවිව් එකකට ගියාම, කැම්පස් ගියාම, වෘත්තීය අධ්‍යාපනය ලබන්න ගියාම ඉබේම පස්සට යන්නේ ඇයි? ළමයින්ගේ ආත්ම විශ්වාසය,පෞර්ෂ වර්ධනය හීන වෙලාම ගිහින් තියෙන්නේ ඇයි?

ආපහු අහනවා. ඇයි? අවුරුදු පහලවක් තිස්සේ ඉගෙනගෙනත් ඉංග්‍රීසි බැරි ඇයි?

පොඩි කාලෙම වෙන වෙන මිනිස්සුන්ගේ සිතුවිලි අපේ කටින් කියන්න පුරුදු උනොත් අපිට කවදාවත් බැහැ තමයි අපිට හිතෙන දේ කියලා දාන්න.අපි යැපෙන්න පටන් ගන්නේ අන්න එතන ඉඳන්. තමන්ගේ හිතේ ශක්තියෙන් දෙයක් නොකර වෙන කෙනෙක්ගේ අණක් ලැබෙනකම් බලන් ඉන්නේ අන්න එතන ඉඳන්.

තේරෙන කාලෙක ස්වයං අධ්‍යාපානයෙන් හරි හැමදේම නිරවුල් කරගෙන එතන ඉඳන් හරි තමන්ගේ දරුවන්ටවත් මේ ඉරණමට මුහුණ නොදී ඉන්න හැකි වෙන තරමට වැඩ ටික කරගන්න පුළුවන් උනොත් අන්න අපි පොඩි ජයග්‍රහණයක් ලබලා.

මේවා අම්මල තාත්තලාගේ වැරදි නෙමෙයි.ඒ අසරණ දෙමව්පියෝ හැමවෙලේම හදන්නේ තමන් නොදන්නා දෙයක් කොහොමහරි දරුවන්ට උගන්නන්න.

එතකොට වැරැද්ද කාගෙද? උගන්වන ගුරුවරුන්ගේද? නැත්නම් මේ හැමදේටම මුල, විභාග ක්‍රමයෙන් ඔබ්බට,ප්‍රායෝගික යොදාගැනීම් නැති අධ්‍යාපන රටාවද?


හිතන්න.වැඩිපුර හිතද්දී වැඩිපුර උත්තර ලැබේවි . J

6 comments:

  1. හිතන්න ගොඩක් දේවල් තියනවා.... අපේ රටේ උගන්වන විදිහ වැරදියි. හැබැයි සමහර ගුරුවරු හා ස්ථාන තියනවා වැඩේ හරියටම අල්ලාගෙන තියන. ඉංගිරිසි කියන්නේ බොහොම පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් භාෂාවක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බණ්ඩා! මඩිය ගැන නොසිතන දරුවන් ගැන සිතන ගුරුවරු සොයාගැනිමම දැන් කාලේ හරිම අපහසු දෙයක්. මේ තරම්ම ප්‍රතිචාරය ප්‍රමාද කරපු එකට සමාව ඉල්ලනවා මම.

      Delete
  2. //තේරෙන කාලෙක ස්වයං අධ්‍යාපානයෙන් හරි හැමදේම නිරවුල් කරගෙන එතන ඉඳන් හරි තමන්ගේ දරුවන්ටවත් මේ ඉරණමට මුහුණ නොදී ඉන්න හැකි වෙන තරමට වැඩ ටික කරගන්න පුළුවන් උනොත්//

    ගොඩක් දෙනා මේ තැන ඉන්නවා..........

    ReplyDelete
    Replies
    1. ඔව් ආර්යයන්. ඒ ගැන හිතත්දී නම් හිතට යම්තාක් දුරට සැනසීමක් ලැබෙනවා. ඒත් ඔය "තේරෙන කාලේ" එන්න කොච්චර කලක් යනවද කියන තැන පොඩි ප්‍රශ්නයක් තියනවා.මොකද එකිනෙකාට ඒ දේ වෙනස් වෙනවනේ.
      හන්චි ඔයාවත් සාදරෙන් පිලිගන්නවා වගේම ඔයාගෙනුත් ප්‍රතිචාර ප්‍රමාද වුන එකට සමාව ඉල්ලනවා!

      Delete
  3. ඔන්න ප්‍රශ්ණෙක හරි තැනින් අල්ලගන්න ගත්ත උත්සාහයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඩුඩ්... ! ප්‍රශ්නෙට උත්තරෙත් හරි තැනින්ම අල්ලගන්න ඕනි. සාදරෙන් පිලිගන්නවා බ්ලොග් එකට. ප්‍රතිචාර ප්‍රමාද උන එක ගැන කනගාටුයි.

      Delete