Saturday, July 4, 2015

පවුලේ සැමට...







කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා ඔන්න ආපහු බ්ලොග් කට්ටේ මොනාහරි ලියන්න හිතුනා. මොනාහරි කිව්වට මොනාහරිම නෙවෙයි.ලොකු පොඩි අපි ඔක්කොමලා කැමති දෙයක් ගැනයි කතා කරන්න හිතුවේ.

ඔන්න ඊයෙ රෑ මංතුමී නිදාගන්න කාරිය ඇඳට ගිය වෙලේ  පුදුම හිතෙන දෙයක් ඇහුනා..

                                                           දුවන්න පනින්න පාඩම් කරන්න 
                                                                තිබුනත් වැඩ ඉස්කෝලේ...
                                                           ඔන්න ඇවිල්ලා ආයේ ඇවිල්ලා 
                                                                සෙල්ලම් කරන්න කාලේ...




මහ රෑ 11 ට විතර මේ සින්දුව ඇහෙන්නේ කොහෙන්ද කියල හොයල බලද්දී තමයි මට වැඩේ මීටර් උනේ.මංතුමි ඉන්න පැත්තේ සංගීත ප්‍රසංගයක සින්දු කියනවා තමයි මේ ඇහිලා තිබුනේ. තව තව කාටුන් සින්දු දෙක තුනක්ම ඊට පස්සේ ඇහුනා.ඒ වෙලාවේ තමයි හිතුනේ කාටුන් ගැන ටිකක් ලියන්න ඕනි කියල.


ඉස්සෙල්ලම කාටුන් ඉතිහාසේ ගැන පොඩ්ඩක් දැනගෙන ඉමුද අපි..



කාටුන් කියන සංකල්පය ගොඩක් ඈත කාලයක ඉඳන් අද දක්වාම පැවත එන දෙයක්. සරලවම “කාටුන්” කියන්නේ “චිත්‍ර” වලට. ඒත් මේ වචනේ ගොඩාක් විධි වලට භාවිතා වෙනවා.

කලා නිර්මාණ විදියට,තොරතුරු බෙදාහරින තේරුම් ගැනීමට පහසු මාධ්‍යක් විදියට, දේශපාලනික මත පල කරන මාධ්‍යක් විදියට, විනෝදාස්වාදය ලබාදෙන මාධ්‍යක් විදියට වගේ බොහෝ දේවල් වලට මේ කාටුන් භාවිත වෙලා තියනවා සහ තාමත් භාවිත වෙනවා.

ඒත් අපිට කාටුන් කිව්වම මතක් වෙන්නේ නම් ඉස්සෙල්ලම ටීවී එකේ යන කාටුන් සහ පත්තර වල යන කාටුන් නේද?ඔන්න මට නම් එහෙමයි.

ඔය ටීවී එකේ යන කාටුන් ගැන කතාකලොතින්,

ඔය චිත්‍රපට කර්මාන්තය ආරම්භ වුන මුල් කාල වකවානුවේ සමහර කලාශිල්පියෝ පරීක්ෂණ කරලා තියනවා චලනය කරන්න පුළුවන් රූප/චිත්‍ර නිර්මාණය කරන්න.ඒ පරීක්ෂණ සාර්ථක උනාට පස්සේ තමයි ඒ චලනය වන රූප/චිත්‍ර “කාටුන්” විදියට හඳුන්වලා තියන්නේ..ගොඩක් වෙලේට මේ කාටුන් වලට යොදා ගත්තේ මිනිස්සුන්ට වඩා සත්තුන්ව තමයි.විනෝදාස්වාදය පදනම් කරගෙනනේ මේවා නිර්මාණය උනේ..

ඒත් දෙවැනි ලෝක යුද්ධ කාලේ එහෙම දේශපාලනික හේතු වලටත් මේ කාටුන් යොදාගෙන තියනවලු. 

කාටුන් නිෂ්පාදනය අතින් ඩිස්නි (WALT DISNEY) ආයතනය, වෝනර් බ්‍රදර්ස් (WARNER BROS) ආයතනය වගේ ඒවා ඒ කාලේ ඉඳන්ම තාමත් අංක එකට ඉන්නවා කියන එක අපි හැමෝම දන්න දෙයක්.
බග්ස් බනී,මිකී මවුස් වගේ ලෝක ප්‍රසිද්ධ කාටුන් චරිත බිහි උනෙත් ඉස්සෙල්ල මම කියපු අංක එකේ කට්ටිය හින්දනේ..



හා දැන් ඉතිහාසය එව්වා මෙව්වා ඇති. දැන් මට කතා කරන්න ඕනි උන මාතෘකාවට බහින්නම්.


ලංකාවේ කාටුන් සහ අපි.....


මට හිතෙන විදියට ලංකාවේ කාටුන් වල ස්වර්ණමය යුගය 2007 /2008 අවුරුදු විතර වෙද්දී ඉවර වුනා.  80 දශකයේ මැද භාගයේ ඉපදුනු අයටයි 90 දශකයේ ඉපදුනු අයටයි නම් ඒ ස්වර්ණමය යුගයේ ක්‍රියාකාරී කාටුන් නරඹන්නෝ හැටියට ඉන්න වාසනාව තිබුනා කියල මම තරයේම හිතනවා.

1982 අවුරුද්දේ ජාතික රුපවාහිනී නාලිකාව පටන් ගත්තට පස්සේ ඔන්න පොඩි බබාලට,ලොකු බබාලට ඔක්කොටම එකතු වෙලා ආසාවෙන් බලන්න පුළුවන් කාටුන් ගොඩක් අපිට ලැබුනා.

මුල් කාලේ ඉංග්‍රීසියෙන් ගියපු කාටුන් නොතේරුං කමට උනත් ආසාවෙන් බැලුවා කියලා කිව්වේ දන්නා අඳුනන අයියා කෙනෙක්ම තමයි..ඒ උනාට ඔන්න මංතුමී කාටුන් බලන්න ගන්න කාලේ වෙනකොට නම් හඬකවපු කාටුන් විකාශනය උනා.

මේ හඬකැවීම් ගැන කතාකරද්දී ඒ ක්ෂේත්‍රයට විශාලතම සේවයක් කරපු ටයි මාමාවත් අපි මතක් නොකරම බෑ. මොකද ඒ තරමටම අපේ හිත වලට දැනෙන්න භාෂාව හසුරවන්න එතුමාට සුවිසේශි දක්ෂතාවයක් තිබුනා.


ඉතින් අපි මතක් කරමුද ඒ කාලේ ආසාවෙන් බලපු කාටුන් ටිකක්..




                               වලස් මාමා 
                               පිස්සු පූසා
                               දොස්තර හොඳ හිත
                               බෘම් බෘම්
                               ඥානකතා මල්ලි
                               ඉඟුරු පාන් මල්ලි
                               කූඹිච්චි

මේ මට මතක ටිකක් විතරයි.. ඔය අතරේ තමයි සිරස ටීවී චැනල් එකෙනුත් හඬකවපු කාටුන් පෙන්නන්න ගන්නේ.

                              ටින් ටින්
                              සූරපප්පා 
                              දඟයා 
                              පුංචි මායාකාරයෝ 
                              රෝසි ආච්චි 


වගේ  කාටුන් ටිකත් අපේ හිත් වල තදින්ම සටහන් වුනා කියල කිව්වොත් මම හරි.


ඊට අමතරව,


කැස්පර්,ඇපල් ආදිපාදතුමා,කාබාසිනියතුමා,කෝලිකුට්ටු සහෝදරයෝ,නයිල් නදී කුමරී,ගාෆීල්ඩ් ෂෝ,ස්කුබි ඩු,ගිරිපුර ඇත්තෝ,වනසරා......
වගේ කාටුන් වලටත් මම නම් හරි ආසයි.


මට හිතෙන විදියට මේ කාටුන් අපේ අතරේ ජනප්‍රිය වෙන්න හේතුව තමයි භාවිතා කරපු සංගීත තනු, ගීත වල වචන සහ හඬ කැවීම් වලදී යොදා ගත්තු දෙබස්,කටහඬ ආදිය. මේ කිසිම කාටුන් එකක් අපේ රටේ ඒවා නම් නෙමෙයි.ඒත් හඬකැවීම් ඇති විශිෂ්ටයි.ඔය සූරපප්පා වගේ කාටුන් ඒවාට හොඳම උදාහරණ.ඇත්තටම ඒ ශිල්පීය දක්ෂතා නම් අගය කල යුතුමයි. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට දුන්නු ආදර්ශ උපදෙස් ආදියත් මම මේ පැරණි කාටුන් වල විශේෂ ලක්ෂණයක් විදියට දකිනවා.


උදාහරණයක් විදියට මේ දොස්තර හොඳ හිත  කාටුන් එකේ සින්දුවම බලන්නකෝ..




                                            මල් පිපුනේ සුවඳ දෙන්න
                                            බෑයි කියල බෑ..
                                            තටු ලැබුනේ පියාඹන්න
                                            බෑයි කියලා බෑ..
                                            අත් ලැබුනේ වැඩ කරන්න
                                            බෑයි කියල බෑ..
                                            නගේ මලේ කිසිම දෙයක්
                                            බෑයි කියල බෑ..


දැන් කාලේ ඉතින් පොඩි අය ටීවි වලට ඇබ්බැහි වෙලා කිව්වට ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ කාටුන් වලට නෙමෙයිනේ.නේද.වීඩියෝ ගේම්ස්, ඇනිමේෂන් චිත්‍රපටි වලටනේ ගොඩක් පුංචි අය දැන් කැමති.

ඒත් මංතුමී නම් කැමතියි පුංචි ළමයි ඉස්සර කාලේ තිබුණු කාටුන් වලට ඇබ්බැහි වෙනවනම්.ඇත්තටම මම හිතන්නේ නෑ ඒ කාටුන් වලින් පුංචි අයගේ ළමා කාලය විනාශ වෙයි කියලා.මොකද දැන් කාලේ ටීවී එකේ යන ළමා වැඩසටහන් දැක්කම තේරෙනවා ඒ වැඩසටහනුත් යාන්ත්‍රිකරණය වෙලා කියලා.පුංචි අයට ගහකොළ,සත්තු,ඉතිහාසය ගැන ව්‍යංගයෙන් මනසට කාවද්දන්න පුළුවන් වැඩසටහන් ඇත්තටම අඩුයිනේ.

ඔය දේවල් කල්පනා කරද්දී  තමයි ඇත්තටම මට හිතෙන්නේ ඒ කාලේ ගියපු ළමා වැඩසටහන් වල නැවත විකාශයක් ගියා නම් කොච්චර වටිනවද කියලා.

ඒ නැතත් පුංචි අයට වීඩියෝ ගේම් එකක් අරන් දෙන වෙලාවේ ඔය කාටුන් සීඩි එකක් අරන් දෙන්නත් පුළුවන් ඉතින්.මොකද මම දන්නා විදියට සමහර පරණ කාටුන් වල පිටපත් අපිට වෙළඳපොලෙන් ගන්න පුළුවන්.



මම කියන්නේ නෑ මේ දේවල් තමයි ළමා කාලේදී ළමයි අනිවාර්යෙන් බලන්න ඕනි කියලා. මොකද ටීවී එක බලනවට වඩා පොතක් පතක් බලන එක හොඳයි කියන අය ඉන්න පුළුවන්.ඔව් මමත් ඒ දේට එකඟයි.ඒත් දැන් ළමයි තාක්ශනේ එක්ක ගැටෙන ප්‍රමාණයට වඩා, අපි පොඩි කාලේ තාක්ෂණයත් එක්ක මුහු වුණු හැටි සාපේක්ෂව ගොඩක් වෙනස්.අන්න ඒ අත්දැකීම ළමයාට ලබාදෙන්න පුලුවන්නම් ඒක වටිනා බවයි මම මේකෙන් අදහස් කලේ.


දැන් නම් ඉතින් මේ ලිපිය ඇති වගේ.ඇත්තටම මේ මට හිතුනු දේවල් ටිකක් ඔහේ ලියලා දැම්මා මිසක ලිපියකුත් නෙමෙයි.ඔයාලා හැමෝගෙම ඒ කාලේ මතකයන් ටිකක් ආපහු මතක් කරලා දෙන්න ගත්තු පොඩි උත්සහයක් විදියට මම මේක නම් කරන්නම්කො.

මහන්සිය නැති කරගන්න,චුට්ටක් හිනාවෙන්න ඕනි උනාම යූටියුබ් එකට ගිහින් මේ කාටුන් ක්ලිප් එකක් බලන්න  ඔයාලත්..ඩේටා ටිකක් ඉවර උනාට මොකෝ ඉතින්.

එහෙනම් ඔන්න මම කවුරුත් දන්න පිස්සු පූසා කාටුන් එකේ සින්දුවකින්ම පොස්ට් එක ඉවර කරන්නවා හොඳේ 
.



                                             සූට් බූට් දිග කලිසම්
                                             රෝල්ස් රොයිස් ගමන් බිමන්
                                             අද මැදුරේ හෙට පැදුරේ
                                             පිස්සා මූ පිස්සා මූ
                                             පිස්සු පූසා මූ......

                           තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
                           මේ විගඩම දැකගන්නට කවුරු නොවේද ආසා..
                           හිස් පලුවෙක්ගේ විලසා කුණු කුඩේන් බෙල්ල දමා
                           බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා

                                            අන් කුසගිනි නිවන උලා
                                            කට බලියන් ඉන්න එකා
                                            මීයා කටට වැටුණු වහා
                                            සිල්ගත් සේමා ..
                                            තම වාසිය ලැබෙන තුරා
                                            පුරු පුරු ගා කෙඳිරි ගගා
                                            බිම පෙරලී වැඳ වැටිලා
                                            කකුලේ වෙලෙයි මේකා...

                                     හොරා කෑම බැරි උන දා
                                     දත් විලිසා නිය විදහා
                                     කොන්ද නමා දුන්න ලෙසා
                                     පහුරු ගායි පූසා..
                                     පිස්සා මූ පිස්සා මූ
                                     පිස්සු පූසා මූ....




 ප.ලි.   :
( මේ තොරතුරු ගොඩක් ගත්තේ විකිපීඩියා එකෙන්.පින්තුරත් ගූගල් එකෙන්.ඒ වගේම සමහර තොරතුරු මට කියපු රසික ලංකා අයියටත්,රුශි අක්කටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. )

8 comments:

  1. //පිස්සු පූසා
    දොස්තර හොඳ හිත/

    මේ තමයි මේ හැම කතාවකම මුල... තාම මතකයි... තාම අාසයි....

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු..ඒ කතාව ඇත්ත.මේවා කවදාවත් අපිට අමතක වෙන එකක් නම් නැහැ.
      ස්තුතියි මේ පැත්තේ ආවට.ආයෙත් එන්නකෝ. :)

      Delete
  2. මං ආසම කාර්ටුන්!

    වළස් මාමා, වුඩී වුඩ්පෙකර්, දොස්තර හොඳහිත, යූ ජස්ට් වෙයිට්, කැස්පර්, පිස්සු පූසා, හා හා හරි හාවා

    ඇයි අනේ අර පෙන්ගුයින් කතාව. ඒකත් මරු.

    අලුත් ඒවයින් මම ආසම ගාර්ෆීල්ඩ් ට.

    මම ආසම ඩබින් තියෙන්නෙ ස්කූබි ඩූ, කවුද බෝයි සහ සූර පප්පා.

    බෙන් ටෙන් සහ දැන් තියෙන ගොඩක් සංකීර්ණ කාර්ටුන් වලට මම කැමතිම නැහැ. අර ඉන්ඩියන් රජ කතා කාර්ටුන් එහෙමත් මට දිරවන්නේම නෑ.

    ReplyDelete
    Replies
    1. බස්සි අක්කා කැමති ඔක්කොම කාටුන් වලට මාත් හරි කැමතියි.
      බෙන්ටෙන්,චන්ඩි වගේ ඉන්දියන් කතා වලට නම් මාත් කැමතිම නෑ.ඒත් ඉතින් අපි අකමැති ඒවම තමයි තියෙන්නෙත් දැන්. :)
      ස්තුතියි බස්සි අක්කේ මේ පැත්තේ ආවට..

      Delete
  3. හක හැකෑ..කෑ ....හක හැකෑ..කෑ ....හක හැකෑ..කෑ .....හෙ හෙ හෙ හෙ

    ReplyDelete
    Replies
    1. මල්කොබා ට හොඳටම හිනා වගේ.. ;) සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට..ආයෙත් එන්නකෝ. :)

      Delete
  4. මේ කාටුන් ආපහු පාරක් බලන්න හොයා ගන්න විදියක් නැති ද ?

    ReplyDelete
  5. Discovery,

    මගේ බ්ලොග් එකට ආවට ස්තුතියි. :)
    ඔය කාටුන් ගොඩක් ඒවා යූ ටියුබ් එකෙන් අපිට හොයාගන්න පුලුවංඊ. ඒ අතරින් පතර ටීවී එකෙත් යනවා.සමහර DVD කොපි උනත් තියනවා කඩවල් වල නම් ..

    ReplyDelete