Saturday, December 5, 2015

වෙනසකින් ඇරඹුවෙමි.



ජීවිතෙත් හරි පුදුමයි නේද. වෙන දේවල් හිතාගන්න බෑ. අර ස්ටීව් ජොබ්ස් මහත්තයත් කියල තියන්නේ, අපිට අනාගතේ වෙන්න තියන දේවල්, සිදුවිම් එකකට එකක් යා කරගන්න බෑ,ඒත් අතීතයේ වෙච්ච සිදුවීම් හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි කියලා.ඒ සිදුවීම් පහසුවෙන් යා කරගන්න පුළුවන්ය කියලා.
ඉතින් මාත් එහෙම හිතනවා. දැන් මේ වෙන දේවල් මොනවද කියලා හිතාගන්න බැරි උනත්, කවදාහරි දවසක ආපස්සට හැරිලා බලද්දී මටත් ඩොට් යාකරනනැහේ සිද්ධි ටික යාකරගන්න පුළුවන් වේවිනෙ.නේද!! හි හී.

හන්චිට ඉතින් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යාගන්න බැරි උනානේ. ඉතින් ආයේ දෙවැනි සැරයක් විභාගේ කරන්නත් බෑ හිතුනා. ඉතින් හන්චි ගියා පෞද්ගලික විශ්ව විද්‍යාලයකට. ( දැන් ඉතින් ඔව්වට විරුද්ධ අය රෙදි කරේ තියන් වාද කරන්න නම් එන්න එපා හරිය! මේ මගේ කැමැත්තනේ!! )



ගෙදර ඉඳනුත් බස් හතරක පහක ගමනක් නිසාත්, ජිවිතේ අවුරුදු විස්සකට පස්සේ අලුත්ම වෙනසකින් පටන් ගන්න ඕනි කියලා හිතුන නිසාත් හන්චි තීරණේ කළා බෝඩිම් ජිවිතේකට මාරු වෙන්න. අමාරුයි තමයි අම්මලා නැතුව ඉන්න. ඒත් ඉතින් අවදානම බාරගත්තා! මේ පටන් ගන්නේ එතකොට හතරවෙනි සතිය. ඒ කියන්නේ මාසයක්ම මම බෝඩිමේ ඉඳලා. දැනට බෝඩිමේ ඉන්නේ මම විතරයි. තාම කවුරුත් නැති හින්දා ඕපාදුපයක් කියවන්නවත් කවුරුත් නෑනේ. ඒ උනාට ඉතින් බෝඩිම නිදහස්. මං ගෙදරදිත් ගොඩක් වෙලේට බැනුම් අහන්නේ වැඩිය කතා කරන්නේ නැහැ කියලා. ඔන්න දැන් මෙහෙට ආපුහම නම් කතාකරන්නේ නැහැ කියලා බනින්න කවුරුත් නෑ. හි හී..

දැනට කියන්න ඉතින් බෝඩිම් කතාවක් නෑ. ඒ හින්දා කැම්පස් එක ගැන කියන්නම්කො.

ඉස්සෙල්ලාම යද්දී නම් ටිකක් බයයි තමයි.දැන් එහෙම නෑ ඉතින්. ලංකාවේ හතර වටෙන්ම ළමයි ගොඩක් ඇවිත් ඉන්නවනේ. යාපනෙන් පටන් ගත්තම පොලොන්නරුව, කුරුණෑගල, මහනුවර ,රත්නපුරය , බණ්ඩාරවෙල ,  ගාල්ල , මාතර වගේ මේ හැම පළාතකම එකතුවක් තමයි අපේ බැච් එකේ ඉන්නේ. තාම අපේ බැච් එකේ ඉන්නේ ළමයි ඔක්කොම අසූවක් විතර. අනික් ෆැකල්ටි වල නම් අලුත් බැච් එකේ ළමයි හෙන ගොඩක් ඉන්නවා. ළමයි අඩු එකේ වාසියකුත් තියනවා. කණ්ඩායමක් විදියට ඉද්දි කණ්ඩායම පොඩි වෙන්න පොඩි වෙන්න ප්‍රශ්න අඩුයි කියලයි මම හිතන්නේ.

ඇත්තටම අලුත් යාළුවොන්ගේ හොඳ ගොඩකුයි නරක පොඩ්ඩකුයි තමයි මේ වෙද්දී මම දැක්කේ. පහු පහු වෙද්දී ඉතින් සමහර විට ඔව්වා වෙනස් වෙයි. අපේ සීනියර්ස්ලා ඔක්කොටම මේ ටිකේ වැකේෂන්. ඒ හින්දා පරිසරේ නම් එච්චර කලබලකාරී නැහැ.

මේ ටිකේ කරන්නේ ෆ්රෙශර්ස්ලව අලුත් පරිසරේට හුරු කරන එක තමයි. ඉගැන්වීම් වල ඉඳන් බාහිර වැඩ හරහාත් කරන්නේ අවට පරිසරේ එක්ක ගනුදෙනු කරන හැටි අපිට උගන්වන එක කියලයි මට නම් හිතෙන්නේ.

ඉතින් මගේ යාළුවො ගැන කිව්වේ නෑනේ. අපි ඔක්කොම හයයි. මාතර ඉඳන් ගම්පහෙනුයි පන්නිපිටියෙනුයි ඉන්ගිරියෙනුයි මහරගමිනුයි ඉවරවෙන යාළුවො ටිකක් තමයි අපි. පිරිමි ළමයි එහෙමත් ඉන්නවා.එයාලා  කතාත්  කරනවා. ඒත් තාම අර පාසල් මානසිකත්වේ ළමයින්ගේ ඔලුවේ තියන හින්දා පොඩ්ඩක් මන්දගාමියි වගේ. හි හී. අපේ ෆැකල්ටියේ ප්‍රසිඩන්ට් නම් කිව්වේ ඔව්වා ඉක්මනටම හරියාවි කියලයි.

මං ඉන්න පළාත ඉතින් ලස්සනයි. කඳු එහෙම තියනවා. උදේට සමහර දවසට සිරිපාදෙත් පේනවා. රිලව් එහෙමත් ඉන්නවා ඉතින් ඔය මග දිගට තියන ගෙවල් වල පලතුරු ගස් පාලු කර කර.
මේ දේවල් වලින් මම කැමතිම දේ තමයි බෝඩිමට යන පාර. දෙපැත්තේම ගෙවල් තිබුනට හරි නිශ්ශබ්දයි. වෙලාවකට මට හිතෙනවා ඒ ගෙවල් වල කවුරුත්ම අඩුම තරමේ ගෙදරක ජනේලයක්වත් අරින්නේ නැද්ද කියල උදේට.පයින් යන එන දුරනේ . උදේට යද්දිත් කඳු දිහා බලාගෙන යන්න පුළුවන්.හවසට එද්දිත් කඳු දිහා බලාගෙන එන්න පුළුවන්. හිටපු ගමන් බුරාගෙන එන්න බව්වෝ රැලකට ඇරෙන්න වෙන කාටවත් බෑ ඒ නිශ්ශබ්දතාවේ ලස්සන නැති කරලා දාන්න. ඔව් කොහොමටත් මම වැඩිය සද්ද බද්ද වලට කැමති ළමයෙක්වත්, වැඩිය සද්ද බද්ද කරන ළමයෙක්වත් නෙමෙයිනේ. ඔව් ඔව්.ඇත්තටම තමයි කිව්වේ.

හ්ම්ම්..ඔව්වා තමයි ඉතින් විස්තර. ජිවිතේ චුට්ටාක් වෙනස් වුනා විතරයි. ඒකාකාරී හැඟීමක්නම් දැන් ඇත්තෙම නැහැ.

මට මෙහෙම ලියලා දාන්න හිතුනේ, කවදාහරි මට මේ මුලින්ම දැනුනු හැඟීම ආපහු මතක් කරගන්න ඕනි උනොත් කියලයි. අපි කොච්චරක් දේවල් ගැන බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන හිටියත් ඒවා ඒ විදියටම ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියන එක අවිනිශ්චිතයිනේ. පවත්නා මොහොතේ සතුටින් ඉන්න එක තමයි වැදගත්. ඒත් ඉතින් හිටපු ගමන් පරණ මතක හිතේ කොනිති ගහන එක නවත්තන්නත් අමාරුයි සමහර වෙලාවට.


මේ ඉතින් බ්ලොග් කට්ටට ආවෙත් සෑහෙන කාලෙකට පස්සේ. ආයේ කවදා ඒවිද කියන්න දන්නෙත් දෙයියෝ තමයි.එන්න එන්නම වැඩ වැඩි වෙනවා.කාලය අඩු වෙනවා. ඉතින් ආයෙත් මගේ හන්චියට පුළුවන් තරම් ඉක්මනටම එන්නම්. කියවන ඔයාලට ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ස්තූතියි හොඳේ.





4 comments:

  1. වෙනසකින් අරඹමු............

    ReplyDelete
  2. වෙනස් වෙයං....ඊට පස්සේ වෙනස් කොරපන්....

    ReplyDelete
  3. චතුල මාමේ : හරි අරඹමු... :)


    වාසනාවන්ත: ස්තුතියි අයියේ.

    Sudara: Thank you! :)

    ReplyDelete